නියමිත ප්‍රමාණයට වඩා කුඩා හක්බෙල්ලන් 1,158ක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මන්නාරම, ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය සමත්ව තිබේ. උතුරු මැද නාවික විධානයට අයත් ‘ගජබා’ ආයතනය විසින් ජනවාරි 25 වනදා සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී සැකකටයුතු නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම හක්බෙල්ලන් තොගය සොයාගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් හක්බෙල්ලන් තොගය නීත්‍යානුකූලව තිබිය යුතු අවම වටප්රමාණය වන මිලිමීටර් 70 සීමාවට වඩා අඩු මට්ටමක පැවති බව නාවික හමුදාව පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සහ හක්බෙල්ලන් තොගය ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී ඇත. නියමිත ප්‍රමාණයට වඩා කුඩා මුහුදු ජීවීන් ඇල්ලීම සහ සන්තකයේ තබා ගැනීම නීති විරෝධී ක්‍රියාවක් පමණක් නොව, එය සාගර පරිසර පද්ධතියට සහ ධීවර කර්මාන්තයේ තිරසාරභාවයට බරපතළ තර්ජනයක් වන බව බලධාරීන් අනතුරු අඟවා සිටියි.


























