නීතිඥයා සහ බිරිඳ ඝාතනයට එරෙහිව හෙට (16) දිවයින පුරා අධිකරණ වර්ජනයක්!

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් හෙට (16) දිනයේ සියලු අධිකරණ කටයුතුවලින් බැහැරව සිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව තීරණය කර තිබේ.​මෙම තීරණය ගනු ලැබුවේ අද (15) කොළඹදී රැස්වූ එම සංගමයේ හදිසි මහ සභා රැස්වීමේදීය. වසර 14කට පසුව පැවැත්වූ මෙම විශේෂ නියෝජිත හමුව සඳහා නීතිඥවරුන් 3,500ක පමණ අතිවිශාල පිරිසක් සෘජුව සහ සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටියහ.​නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කළේ, රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඝාතන සංස්කෘතිය වහාම නතර කර මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජය පියවර ගත යුතු බවට මෙහිදී යෝජනා වූ බවයි.​අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සියලු අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලින් බලකිරීමටද නීතිඥ ප්‍රජාව මෙහිදී තීරණය කර ඇත.​එසේම, මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි ලෙස තහවුරු නොකළ තොරතුරු සමාජගත කිරීම පිළිබඳව පොලිසිය සහ අදාළ පාර්ශ්ව වෙත සිය දැඩි අප්‍රසාදය පළ කිරීමටද මහ සභාව කටයුතු කර තිබේ.​මෙම කූර අපරාධය සම්බන්ධයෙන් නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරන අතර, හෙට දිනයේ දිවයිනේ සියලුම අධිකරණවල නීතිඥවරුන් සේවයෙන් බැහැරව සිටිනු ඇත.​වෘත්තීය මට්ටමින් එල්ල වන මෙවැනි තර්ජන හමුවේ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටීම නීතිඥ සංගමයේ මූලික අරමුණ බව රජීව් අමරසූරිය මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත අවධාරණය කළේය.​මෙම වැඩවර්ජනය හේතුවෙන් හෙට දින දිවයින පුරා අධිකරණ රැසක නඩු කටයුතු පවත්වාගෙන යාමට බාධා එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,013

Leave A Reply

Your email address will not be published. Required fields are marked *