පසුගිය මාර්තු 11 වනදා කැඳවන ලද ‘ස්පොට් ටෙන්ඩර්’ (Spot Tender) සඳහා වන ගල්අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන නිර්ණායක තවදුරටත් ලිහිල් කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FLSP) ඊයේ චෝදනා කළේය. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ, බාල ප්‍රමිතියෙන් යුතු ගල්අඟුරු සැපයූ බවට චෝදනා ලැබූ සමාගමකටම මෙම නව ටෙන්ඩරය ජයග්‍රහණය කිරීමට අවස්ථාව සලසා දීම සඳහා මෙලෙස කොන්දේසි වෙනස් කර ඇති බවයි. 2025 සැප්තැම්බර් මාසයේදී ගල්අඟුරු නැව්වාර 25ක් සැපයීමට අදාළ සමාගමකට ටෙන්ඩරය ලබා දුන්නද, ඔවුන් නියමිත වේලාවට තොග ලබා දීමට අපොහොසත් වූ බවත්, මේ වන විට පැමිණ ඇති නැව්වාරවල ගල්අඟුරු ද බාල මට්ටමේ පවතින බවත් ඔහු අනාවරණය කළේය.මෙම තත්ත්වය හේතුවෙන් රට තුළ බලශක්ති අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති අතර, ඒ නිසාම නව ‘ස්පොට් ටෙන්ඩරයක්’ සඳහා යාමට තීරණය කර තිබේ. එහිදී ගල්අඟුරු ගුණාත්මකභාවය මැනීමට මීට පෙර භාවිතා කළ ‘ප්‍රතික්ෂේපිත අගය’ (Reject Value) යන පදය ඉවත් කර, ඒ වෙනුවට ‘අවම අගය’ (Minimum Value) යන පදය හඳුන්වා දී ඇති බව ජයගොඩ මහතා පවසයි. මීට පෙර ගල්අඟුරු කිලෝවකින් කිලෝ කැලරි 5,900ක ශක්තියක් උත්පාදනය විය යුතු අතර අළු ප්‍රතිශතය 16%ක් විය යුතු වුවද, නව කොන්දේසි හරහා එම ප්‍රමිතීන් බිඳ දමා ඇති බවට ඔහු චෝදනා කරයි. මෙම තත්ත්වය හමුවේ විදුලි බිඳවැටීම් වළක්වා ගැනීම සඳහා ඩීසල් මගින් තාප විදුලිය උත්පාදනය කිරීමට සිදුවීම නොවැලැක්විය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


























