පාතාල කල්ලි ගැටුමක් දුරදිග යයි: නව වසරේ පළමු වෙඩි තැබීමෙන් 20 හැවිරිදි තරුණයෙකු මරුට

නවගමුව, කොරතොට මැණික්අගර ප්‍රදේශයේ ඊයේ (ජනවාරි 01) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් 20 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙය “බොරැල්ලේ කුඩු දුමින්ද” නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ සගයන් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයක් බව පොලිසිය සැක කරයි. “කුඩු චතු” නමැති ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියේ සාමාජිකයන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කොරතොට ප්‍රදේශයේ කුලියට ගත් නිවසක රාත්‍රී 9.30 ත් 10.00 ත් අතර කාලය තුළ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එම අවස්ථාවේ නිවසේ සිටි තවත් තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.​ඝාතනයට ලක්වූ තරුණයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පසුගිය 2025 නොවැම්බර් 14 වනදා බොරැල්ල සරණ මාවතේදී කාන්තාවකගේ අතක් කපා වෙන් කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකි. අත කැපීමට ලක්වූ කාන්තාව “කුඩු චතු”ගේ සමීපතමයෙකු වන අතර, මීට පෙර ජුනි මාසයේදී බොරැල්ලේ සිදුවූ තවත් වෙඩි තැබීමකට සම්බන්ධ පුද්ගලයන් ඇයගේ නිවසේ සිට පැමිණ ඇති බව වාර්තා වේ. ඊයේ රාත්‍රියේ තුවාල ලැබූවන් අතර එම ජුනි වෙඩි තැබීමෙන් දිවි ගලවා ගත් පුද්ගලයාගේ ඥාතියෙකු ද සිටින බව පොලිසිය පවසයි.​සැකකරුවන් දෙදෙනෙකු වැටක් කපා නිවස තුළට ඇතුළු වී පිස්තෝලයකින් මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇත. ඝාතනයට ලක්වූ තරුණයා සහ ඔහුගේ සගයන් “කුඩු දුමින්ද”ගේ සමීපතමයන් බව හඳුනාගෙන තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, මෙය 2026 වසරේ මෙරටින් වාර්තා වූ පළමු වෙඩි තැබීමේ සිද්ධිය ලෙස සටහන් වේ.

What's your reaction?

Related Posts

1 of 924

Leave A Reply

Your email address will not be published. Required fields are marked *