පාතාලයේ මිනිස් ඝාතන මෙහෙයවූ අවි ගබඩාවක් කොටු වෙයි: 16 හැවිරිදි දැරියට වෙඩි තැබූ ගිනිඅවියත් ඒ අතර!

විදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයවන ‘බෝධියවත්තේ අවිශ්ක’ සහ ‘චූටි සමන්ත’ යන පාතාල සාමාජිකයින්ගේ ප්‍රධාන ගිනිඅවි තොගයක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ. කලුබෝවිල සහ බෝධියවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී විදේශීය නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනිඅවි තුනක් සහ ජීව උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගැනුණි. පසුගිය 30 වනදා 16 හැවිරිදි දැරියකට වෙඩි තැබීමට යොදාගත් ගිනිඅවිය ද මෙම අවි අතර වන බවත්, දෙහිවල සහ ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ රැසක සිදුවූ මිනිස් ඝාතන සඳහා මෙම ආයුධ භාවිත කර ඇති බවත් අනාවරණය වී ඇත.​මෙම මෙහෙයුමේදී අදාළ පාතාල කල්ලිවල ප්‍රධාන අනුගාමිකයින් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අතර අපරාධ සඳහා නවාතැන් පහසුකම් සැපයූ පුද්ගලයෙකු, ආයුධ භාරකරු, වෙඩික්කරු රැගෙන ගිය යතුරුපැදිකරු සහ අවි සැපයුම්කරු සිටින බව පොලිසිය පවසයි. සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 23ක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෙන්ම ස්මාර්ට් ජංගම දුරකථන කිහිපයක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.​අත්අඩංගුවට ගත් පිරිස සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොහුවල පොලිසිය වෙත භාර දී ඇති අතර, මොවුන් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ජාලය පිළිබඳව ද කරුණු රැසක් හෙළි වී තිබේ. විදෙස්ගතව සිටින අපරාධකරුවන්ගේ උපදෙස් මත මෙරට තුළ මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය ව්‍යාප්ත කිරීමට මෙම පිරිස කටයුතු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් තහවුරු විය.

What's your reaction?

Related Posts

1 of 928

Leave A Reply

Your email address will not be published. Required fields are marked *