පාසල් දරුවන් අතර ‘කෙරටොකොනස්’ ඇස් රෝගය ඉහළට!

ජාතික අක්ෂි රෝහල වාර්තා කරන්නේ දෘෂ්ටිය විකෘති වීමට හේතුවන ‘කෙරටොකොනස්’ (Keratoconus) නමැති ඇස් රෝගයේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි. මාධ්‍ය අමතමින්, විශේෂඥ අක්ෂි කාච ශල්‍ය වෛද්‍ය ආචාර්ය කුසුම් රත්නායක මහතා අනතුරු ඇඟවූයේ, අවුරුදු අටක් තරම් කුඩා පාසල් දරුවන් අතර පවා මෙම අක්ෂි ආබාධය හඳුනාගැනීමට හැකි වී ඇති බවයි. තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රත්නායක මහතා, රෝගීන්ගෙන් බහුතරය අවුරුදු 10ත් 40ත් අතර වයස්වල පසුවන බවත්, මෙම රෝගය සාමාන්‍යයෙන් යොවුන් වියේදී හෝ වැඩිහිටි වියේ මුල් අවධියේදී ආරම්භ වන බවත් වාර්තා වන බව පැවසීය. මෙම තත්ත්වය පිළිබඳ පවුල් ඉතිහාසයක් ඇති අය, නිතර ඇස් ඇල්ලීම, වර්නල් කෙරටොකොන්ජන්ක්ටිවයිටිස් (vernal keratoconjunctivitis) වැනි අසාත්මික ඇස් රෝග හෝ ඩවුන්ස් සහලක්ෂණය සහ සම්බන්ධක පටක ආබාධ වැනි තත්ත්වයන් ඇති අය වැඩි අවදානමක සිටින බවට අනතුරු ඇඟවූ ඔහු, ප්‍රතිකාර විකල්ප රෝගයේ අවධිය සහ බරපතලකම මත රඳා පවතින බව සඳහන් කළේය. මුල් අවධියේ පරීක්ෂණ සහ මහජන දැනුවත්භාවය ඉල්ලා සිටි වෛද්‍ය රත්නායක මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවූයේ ප්‍රතිකාර නොකළහොත් ‘කෙරටොකොනස්’ රෝගය බරපතල ලෙස පෙනීමේ දුර්වලතාවයට හේතු විය හැකි බවයි. මුල් අවධියේදී කණ්ණාඩි සහ විශේෂිත අක්ෂි කාච (Contact lenses) , රෝගය වර්ධනය වීම නැවැත්වීම සඳහා ‘කෝනියල් කොලජන් ක්‍රොස්-ලින්කින්’ (corneal collagen cross-linking), සහ අක්ෂි පටක බද්ධ කිරීම් වැනි ප්‍රතිකාර විකල්ප තිබෙන නමුත් ඒවා රෝගයේ බරපතලකම මත රඳා පවතින බවද ඔහු හෙළි කළේය. විනිවිද පෙනෙන ඇසේ ඉදිරිපස කොටස වන කෝනියාව ක්‍රමයෙන් සිහින් වී, කේතුවක හැඩයෙන් පිටතට නෙරා ඒමෙන් නොපැහැදිලි, විකෘති වූ දෘෂ්ටියක් ඇති කරන ඇසේ රෝගයක් ලෙස ‘කෙරටොකොනස්’ හැඳින්වේ. විශේෂඥ අක්ෂි කාච ශල්‍ය වෛද්‍ය ආචාර්ය කුසුම් රත්නායක මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (10) දිනට යෙදී තිබූ ‘ලෝක කෙරටොකොනස් දිනය’ නිමිත්තෙන් මාධ්‍ය ඇමතීමෙනි.

What's your reaction?

Related Posts

1 of 834

Leave A Reply

Your email address will not be published. Required fields are marked *