2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මෙරට රැඳී නොසිටි බවත්, එම ප්‍රහාරය සිදුවන විට ඔහු බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු නොකළ බවත් නීතිඥ සංජීව සමරවික්‍රම මහතා ප්‍රකාශ කළේය. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ, සුරේෂ් සලේ 2016 වසරේදී ශ්‍රී ලංකාවෙන් බැහැරව ගොස් යළි දිවයිනට පැමිණියේ 2018 වසරේ දෙසැම්බර් මාසයේදී පමණක් බවයි. එසේම 2019 ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ ඔහු ඉන්දියාවේ ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයේ (Defence Services Staff College) හමුදා පුහුණුවක් ලබමින් සිටි බවද නීතිඥවරයා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සුරේෂ් සලේ යළි මෙරටට පැමිණි අතර, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී තනතුරට ඔහු පත් කරනු ලැබුවේ ඉන් අනතුරුව බව නීතිඥ සමරවික්‍රම මහතා පෙන්වා දෙයි. ඒ අනුව, පාස්කු ප්‍රහාරය සිදුවී අවසන් වූ පසුව පමණක් ඔහු මෙම තනතුරට පත් වූ බව නීතිඥවරයා අවධාරණය කළේය.


























