පියාගේ අතින් ගිලිහී බිම වැටුණු සිඟිත්තිය මියයයි: පියා අත්අඩංගුවට

අලුබෝමුල්ල, බටදොඹ තුඩුව ප්‍රදේශයේ පදිංචි මාස දෙකහමාරක් වයසැති රුසෙලි කේෂා නමැති බිළිඳිය, සිය පියාගේ අතින් ගිලිහී සිමෙන්ති පොළොව මත වැටීමෙන් සිදු වූ බරපතළ හිසෙහි තුවාල හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. රාත්‍රී සේවා මුරය නිම කර නිවසට පැමිණ සිටි පියා, හඬමින් සිටි බිළිඳිය වඩාගෙන ඇවිද යමින් සිටියදී ඔහුට නින්ද යාම හේතුවෙන් දරුවා අතින් ගිලිහී ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. හිසෙහි දකුණු පසට සිදු වූ තදබල පහරක් හේතුවෙන් මොළයට සිදුවූ අභ්‍යන්තර රුධිර වහනය මරණයට හේතුව බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු විය.​සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලිසිය විසින් පියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මරණය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් පසුවය. අනතුර සිදු වූ අවස්ථාවේදී දෙමව්පියන් විසින් මෙවැනි වැටීමක් සිදු වූ බවට කරුණු අනාවරණය නොකළ නමුත්, පසුව පොලිසියට ලැබුණු තොරතුරු මත සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පියා සත්‍යය ප්‍රකාශ කර තිබේ. බිය නිසා තමන් මෙම කරුණ සඟවා සිටි බව පියා පවසා ඇති අතර, අසල්වැසියන්ගෙන් සිදුකළ විමර්ශනවලදී ද නිවසේ කිසිදු ආරවුලක් හෝ එවැනි සිදුවීමක් පිළිබඳව පෙර වාර්තා වී නොමැති බව හෙළි විය. නොසැලකිලිමත්කම හේතුවෙන් මරණයක් සිදු කිරීම යන චෝදනාව යටතේ පියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 972

Leave A Reply

Your email address will not be published. Required fields are marked *