පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුව

අපේ රටේ ආර්ථික අර්බුදයක හිර වුණේ ගත්තු ණය ගෙවා ගන්න බැරි වීමෙන් කියන එක කවුරුත් දන්නා කරුණක්. එහෙම නම් මෙවර අයවැය කතාව ඉදිරිපත් කරන විට මාලිමා ආණ්ඩුව ණය කෙතරම් ගත්තා ද කියන එක ජනාධිපතිතුමා විසින් රටට හෙලි කරාවී කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් අවාසනාවට අයවැය කතාවේ එහෙම දෙයක් කිව්වේ නෑ. ඒ නිසා මාලිමා ආණ්ඩුව මොනවා නැතත් ණය ගැනීම නම් ඉහලින්ම කරලා තිබෙන බව රටට හෙලි කිරීම අපේ යුතුකමක්.

2025 මාර්තු 5 වන දා වන විට ඒ කියන්නේ ආණ්ඩුව පත් වෙලා මාස පහමාරක් වන විට ආණ්ඩුව ලබා ගන්තුණය ප්‍රමාණය රුපියල් බිලියන 5,156ක්. කෝටි වලින් කිව්වොත් රුපියල් කෝටියේ ඒවා 515,600ක්. 2024 වසරේ ආණ්ඩුව රැස් කරපු ආදායම් රුපියල් බිලියන 4,000යි. ඒත් මාස පහමාරකට ණය විතරක් අරන් තිබෙනවා රුපියල් බිලියන 5,156ක්.

මේ ණය වලින් රුපියල් බිලියන 3,775 ක් ලබා ගෙන තිබෙන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන්. තවත් රුපියල් බිලියන 1,063ක් ලබාගෙන තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන්. ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 1,084ක් හෙවත් රුපියල් බිලියන 318ක් ණය අරගෙන තිබෙනවා.

මීට අමතරව ආණ්ඩුව ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය අයිරා පහසුකම් ලබාගෙන තිබෙන්න පුළුවන්. ඒ පිළිබඳ තොරතුරු සොයා ගන්න නැ. ඒ වගේම මේ ණය වලින් සැලකිය යුතු කොටසක් මීට කලින් නිකුත් කරපු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වලට ගෙවීම් කරන්න යොදා ගන්න ඇති. ඒවා අපි දන්නේ නෑ. මේ සල්ලි වලට මොකද කලේ කියන එක රටට කියන එක ආණ්ඩුවේ වගකීමක්.

ඊයේ දිනයේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 13කට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වශයෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 41 කට හදිසියේ මාරුවීම් ලබා දීලා. අපි මේ ගතකරන්නේ ඡන්ද කාලයක්. මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන දවසේ සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන දවස දක්වා කාලය තමයි මැතිවරණ කාල වකවානුව කියන්නේ. ඒ කාලය තුල විශේෂයෙන්ම මැතිවරණ කටයුතු වලට සෘජුවම බලපාන පොලිස් ස්ථානාධිපති සහ ග්‍රාම නිලධාරී වැනි නිලධාරින් කිසිසේත්ම මාරු කරන්නේ නෑ. මේ මාරු කිරීම් හරහා තමන්ට අවාසිදායක ප්‍රදේශ වල මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා එවැනි මාරු කිරීම් සදාචාර විරෝධීයි, නීති විරෝධියි; පක්ෂග්‍රාහියි.

මේ මාරුවීම් කලේ මැතිවරණ කොමිසමේ අනුමැතිය ගෙන නොවේ නම් ඒවා වහාම අවලංගු කළ යුතුයි. මැතිවරණ කොමිසම අනුමත කළා නම් ඒවාට අනුමැතිය ලබා දීමට හේතුව කොමිසම විසින් රටට හෙළි කළ යුතුයි.

පොලිසියේ හදිසි මාරු කිරීම් කරනවා නම් මුලින්ම මාරු කළ යුත්තේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පසුගිය සතියේ මාධ්‍ය හමුවක දේශබන්දු මහතා හඳුන්වා සිටියේ හිටපු පොලිස්පති විධියටයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නොදැන හිටියාට අදටත් පොලිස්පති දේශබන්දු මහතායි. මූලික අයිතිවාසිකම් නඩුවක් විභාග කර අවසන් වන තුරු දේශබන්දු මහතාට පොලිස්පති තනතුරේ රාජකාරි කිරීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් ලබා දෙන ලදි.

What's your reaction?

Related Posts

1 of 604

Leave A Reply

Your email address will not be published. Required fields are marked *