දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි ස්වභාවික විපත් හේතුවෙන් අඩාල වී තිබූ පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු, හෙට (16) සිට යළිත් පූර්ණ වශයෙන් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව, මෙතෙක් සීමා සහිතව ක්‍රියාත්මක වූ දුම්රිය සේවාවන් හෙට සිට කොළඹ කොටුවේ සිට පුත්තලම දුම්රිය ස්ථානය දක්වාම සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට නියමිතය.මෙම මාර්ගයේ ධාවන කටයුතු බිඳ වැටුණේ බත්තුළුඔය පාලම අසලින් මාර්ගය සෝදා යාම, තිල්ලඩිය ප්‍රදේශයේදී පස් කඳු කඩා වැටීම සහ මානුවන්ගම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් මාර්ගය යටින් පස් සෝදා යාම වැනි බරපතල ආපදා තත්ත්වයන් හේතුවෙනි. මීට පෙර කිහිප වතාවක්ම අදියර වශයෙන් මීගමුව, නාත්තන්ඩිය සහ පසුගිය දෙසැම්බර් 29 වනදා වන විට හලාවත දක්වා දුම්රිය ධාවනය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණි.පීලි සහ යටිතල පහසුකම් පිළිසකර කිරීමේ කටයුතු අවසන් කිරීමත් සමඟ, ජනතාවට බාධාවකින් තොරව සම්පූර්ණ මාර්ගය පුරාම ගමන් පහසුව සලසා දීමට දුම්රිය බලධාරීන් කටයුතු කර ඇත. මෙම පූර්ණ විවෘත කිරීමත් සමඟ හලාවත සහ පුත්තලම අතර ප්‍රදේශවාසීන්ට දීර්ඝ කාලයකට පසු සිය දෛනික ගමන් අවශ්‍යතා සඳහා දුම්රිය සේවාව යළි භාවිත කිරීමට අවස්ථාව උදා වේ.


























