පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පද්ධතිය බිඳ වැටෙයි: සේවාවන් අත්හිටුවා තිබියදීත් ජනතාව පෝලිම්වල

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (හැඳුනුම්පත් කාර්යාලය) පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් අත්හිටුවා තිබුණද, අද (27) දිනයේත් එම පරිශ්‍රය අසල විශාල ජනතාවක් රැස්ව සිටින බව වාර්තා වේ. මෙම පද්ධති බිඳ වැටීමත් සමඟ නැවත දැනුම් දෙනතුරු සියලුම සේවාවන් තාවකාලිකව නවතා දමන බව දෙපාර්තමේන්තුව ඊයේ (26) නිල වශයෙන් නිවේදනය කර තිබුණි.​මෙවැනි පසුබිමක වුවද, අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීමේ අපේක්ෂාවෙන් අද අලුයම සිටම මහජනතාව දෙපාර්තමේන්තුව වෙත පැමිණෙමින් සිටිති. ඒ අතර පසුගිය අඟහරුවාදා සිට සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකි වූ පිරිස් ද සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. විශේෂයෙන්ම, පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් තම හැඳුනුම්පත් අහිමි වූ පාසල් සිසුන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටිති.​ලබන සඳුදා පැවැත්වීමට නියමිත ක්‍රීඩා තරඟාවලියකට සහභාගී වීම සඳහා මෙම සිසුන්ට සිය අනන්‍යතා පත්‍රිකා කඩිනමින් අවශ්‍යව ඇති බව වාර්තා වේ. සේවාවන් අත්හිටුවා ඇති බව දැනුම් දී තිබුණද, පවතින හදිසි අවශ්‍යතාවය මත විසඳුමක් අපේක්ෂාවෙන් ඔවුන් මෙලෙස රැඳී සිටින බව පෙනෙන්නට තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,068

Leave A Reply

Your email address will not be published. Required fields are marked *