පෙම් සබඳතාවක් නිසා සිසුවියක පැහැර ගත් සිව්දෙනා රිමාන්ඩ්

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී නිවස බලා යමින් සිටි මහනුවර ප්‍රදේශයේ සිසුවියක් පැහැරගත් පුද්ගලයින් සිව්දෙනා මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඒ ඔවුන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු හිටපු හමුදා සෙබළෙකු වන අතර සිසුවිය සමග පැවැති ප්‍රේම සබඳතාව නතර කිරීම හේතුවෙන් ඔහු මෙම පැහැර ගැනීම සැලසුම් කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වුණේ.

සිසුවිය පැහැරගෙන තිබුණේ මහනුවර කුළුගම්මන යටිහලගල ප්‍රදේශයේදීයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව නිවස බලා යමින් සිටි සිසුවියක මෙලෙස පැහැරගෙන තිබුණේ හිටපු යුද හමුදා සෙබළෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක්.

24 හැවිරිදි ප්‍රධාන සැකකරු විවාහක පුද්ගලයෙකු වන අතර ඔහු කලක පටන් අදාළ සිසුවිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබුණා.

සිසුවිය පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඇගේ සහෝදරයෙකු හමුදා සේවයේ නියුක්තව සිටින බවත් ඔහු සමඟ අදාළ සැකකරු අවස්ථා ගණනාවකදී සිසුවියගේ නිවසට පැමිණ ඇති බවත් වාර්තා වී තිබෙනවා.

පසුව සැකකරු සිසුවිය රැගෙන ගොස් වෙනත් නිවසක නවත්වා ඇති බවත් පරීක්ෂණ මගින් අනාවරණ වී ඇති අතර, සැකකරු විවාහකයෙකු බව දැන ගැනීමෙන් පසු සිසුවිය යළි පොළොන්නරුවේ නිවස කරා පැමිණ තිබුණා.

තරුණයාගෙන් අඛණ්ඩව සිදුවන බලපෑම් හේතුවෙන් මව්පියන් සිසුවිය මහනුවර කුළුගම්මන ප්‍රදේශයේ ඥාති නිවසක නතර කිරීමට පියවර ගත්තා.

පොලිසිය පැවසුවේ, සැකකරු එම නිවසට ද පැමිණ සිසුවිය රැගෙන ගොස් ඇති අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය බව පවසා ඇය යළිත් මහනුවර කුළුගම්මන නිවසට පැමිණ ඇති බවයි.

විභාගය අවසන් වී ඇය මිතුරන් දෙදෙනෙකු සමඟ කුළුගම්මන නිවසට යමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් බලහත්කාරයෙන් සිසුවිය ඊට නංවාගෙන පළා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළා.

සිසුවිය පැහැර ගන්නා අවස්ථාවේ ඇය සමග සිටි මිතුරන් දෙදෙනා අදාළ වෑන් රථයේ අංකය සටහන් කරගෙන පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වූ අලදෙණිය පොලිසිය පැයක පමණ ගාලයක් ඇතුළත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තා.

ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ විභාගය නිමවීමෙන් පසු සිසුවිය තමන් සමඟ නොපැමිණේ යැයි සිතා පැහැර ගැනීම කළ බවයි.

සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එ‍හිදී නියෝග කෙරුණේ, ඔවුන් මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

සිසුවිය ඇගේ භාරකරුවන්ට භාර දී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *