අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනය ඉලක්ක කරගනිමින් පොලිසිය දිවයින පුරා දියත් කළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයන් 592 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. ඊයේ (04) දිනය පුරා ක්‍රියාත්මක වූ මෙම දැවැන්ත මෙහෙයුමේදී පුද්ගලයන් 28,293 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් සිව්දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත.මෙම මෙහෙයුමේදී අධිකරණ මගහැර සිටි වරෙන්තුකරුවන් 229 දෙනෙකු සහ විවෘත වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයන් 121 දෙනෙකු කොටු කර ගැනීමට හැකිවීම විශේෂත්වයකි. මීට අමතරව, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදුකළ පරීක්ෂණවලදී බීමත්ව රිය පැදවූ පුද්ගලයන් 142 දෙනෙකු සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කළ 77 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.මීට අමතරව අනෙකුත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 4,486 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. රට තුළ අපරාධ අවම කිරීම සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙවැනි විශේෂ සෝදිසි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.





















