මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය මුහුණ දී ඇති බරපතල පොහොර හිඟය පිළිබඳව රජය සත්‍ය තොරතුරු වසන් කරමින් සිටින බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. ඊයේ (මාර්තු 20) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ, රජය පවසන පරිදි එළඹෙන යල් කන්නයේ වගා ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පොහොර තොග මෙරට සතුව නොමැති බවයි. විශේෂයෙන්ම කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ වගා බිම් ප්‍රමාණයන් හා සම්බන්ධ දත්ත එකිනෙකට පරස්පර බවත්, සංඛ්‍යාලේඛන මඟින් ගොවියා දිව්‍ය ලෝකයට ගෙන යන බව පවසා ප්‍රායෝගිකව ඔවුන්ව අගාධයකට ඇද දමමින් සිටින බවත් ඔහු චෝදනා කළේය.පවතින තත්ත්වය අනුව මෙරටට යුරියා ඇතුළු අත්‍යවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවශ්‍ය වුවද, දැනට පෞද්ගලික සමාගම් සතුව ඇත්තේ මෙට්‍රික් ටොන් 60,000ක් වැනි සීමිත ප්‍රමාණයක් බව මෙහිදී හෙළි විය. රජය මෙතෙක් පොහොර ආනයනය සඳහා විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අවසන් කර නොමැති වීම නිසා ගොවීන්ට සහනදායී මිලට පොහොර ලබා දීමේ පොරොන්දුව කඩ වී ඇති බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. අතීතයේදී විදේශ රටවලට පවා පොහොර අපනයනය කළ ශ්‍රී ලංකාව, අද වන විට දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අතහැර දමා ආනයනය මතම යැපීම කණගාටුදායක තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉදිරියේදී පොහොර මිල තවදුරටත් ඉහළ යාමට හෝ සැපයුම අඩාල වීමට ඉඩ ඇති බැවින්, රජය වහාම විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බව ජාතික ගොවිජන එකමුතුව අවධාරණය කරයි. දේශපාලන වාසි තකා සිදුකරන ප්‍රකාශවලින් බැහැර වී, කන්නයට අවශ්‍ය පොහොර නියමිත වේලාවට ලබා දීමට කටයුතු නොකළහොත් සමස්ත කෘෂිකර්මාන්තයම කඩා වැටීමේ අවදානමක් පවතින බවද එම සංගමය වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.
























