යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර තොග අඛණ්ඩව ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, තවත් පොහොර ටොන් 25,000ක් රැගත් නෞකාවක් හෙට (05) මෙරටට ළඟා වීමට නියමිතය. කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, ගෝලීය වෙළඳපොළේ පවතින අභියෝග මධ්‍යයේ වුවද මෙරට ගොවි ජනතාවට අවශ්‍ය පොහොර කළමනාකරණය කිරීමට රජය පියවර ගෙන ඇති බවයි.දැනට මෙරට වගා කටයුතු සඳහා අවශ්‍ය මඩ පොහොර සහ බණ්ඩි පොහොර ප්‍රමාණවත් පරිදි පවතින අතර, යූරියා පොහොර සම්බන්ධයෙන් ද අනියත බියක් ඇති කරගත යුතු නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ වන විටත් යූරියා පොහොර ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර, එය වී වගාවට අවශ්‍ය වන ටොන් 80,000ක ඉලක්කය සපුරාලීමට බෙහෙවින් ප්‍රමාණවත් වේ.හෙට දිනයේ පැමිණෙන නව පොහොර තොගය විශේෂයෙන්ම අතුරු බෝග සහ අනෙකුත් අතිරේක වගාවන්හි අවශ්‍යතාවන් සපුරාලීම සඳහා යොදා ගැනීමට නියමිතය. මේ හරහා ඉදිරි වගා කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට ගොවීන්ට අවස්ථාව සලසා දී ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.





















