බදාදා දිනවල උපකාරක පන්ති පවත්වන්න එපා: අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ඉල්ලීමක්

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් සෑම බදාදා දිනකම පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති අත්හිටුවන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මෙය අනිවාර්ය නියෝගයක් නොවන නමුත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිදු කළ කාරුණික ඉල්ලීමක් බව ඔහු පැහැදිලි කළේය. බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව කළ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.​පවතින ඉන්ධන අර්බුදය හමුවේ පරිභෝජනය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහ අත්‍යවශ්‍ය සේවා සඳහා වැඩි ඉඩකඩක් වෙන් කිරීමේ අරමුණින් රජය මෑතකදී විශේෂ තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව, නැවත දැනුම් දෙනතුරු සෑම බදාදා දිනක්ම රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම පියවර රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරි සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා ද අදාළ වේ.​මෙම තීරණය අධ්‍යාපන ක්ෂේත්‍රයට ද බලපාන අතර රජයේ, අර්ධ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්, පෙරපාසල්, පිරිවෙන් මෙන්ම වෘත්තීය හා උසස් අධ්‍යාපන ආයතන ද මෙයට ඇතුළත් වේ. මීට අමතරව, සියලුම රාජ්‍ය උත්සව තාවකාලිකව අත්හිටුවා ඇති අතර, පෞද්ගලික අංශයේ සේවකයින්ට හැකිතාක් දුරට නිවසේ සිට වැඩ කිරීමට (Remote working) පහසුකම් සලසන ලෙස උපදෙස් දී ඇත. කෙසේ වෙතත්, සෞඛ්‍ය, බැංකු, විදුලිය, ජල සම්පාදන, වරාය, රේගු සහ ගුවන් සේවා වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මෙම තීරණය අදාළ නොවේ.

What's your reaction?

Related Posts

1 of 1,068

Leave A Reply

Your email address will not be published. Required fields are marked *