රජය විසින් බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ඉදිරියේදී පැමිණීමට නියමිත බරපතල විදුලි කප්පාදුව වසාගැනීම සඳහා ගත් පැලැස්තර විසඳුමක් බව සමගි අධ්‍යාපන සේවක සංගමයේ සභාපති ප්‍රියන්ත පත්බේරිය මහතා පවසයි. විදුලිය සහ ඉන්ධන පිරිමසා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත්තද, නිසි පූර්ව සූදානමක් නොමැතිකම හේතුවෙන් සමස්ත පද්ධතියම අර්බුදයකට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදනය අඩාල වීම සහ ගල් අඟුරු ගනුදෙනුවල සිදුවූ බව කියන වංචා සහගත ක්‍රියාවන් හේතුවෙන් වර්තමාන බලශක්ති අර්බුදය නිර්මාණය වී ඇති බව විපක්ෂය චෝදනා කරයි. මෙම තත්ත්වය හමුවේ පාසල් ප්‍රවාහන ගාස්තු 50% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඉන් පීඩාවට පත්ව සිටින දෙමාපියන්ට සහ සිසුන්ට සහනයක් සැලසීමට පාලකයින් අපොහොසත් වී ඇති බව අද (17) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ විය.පසුගිය කාලසීමාව තුළ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයින් දැඩි ලෙස බාධා කළ බව පත්බේරිය මහතා මෙහිදී සිහිපත් කළේය. ලාංකික විදුලිබල ක්ෂේත්‍රය නවීකරණය කිරීමට එරෙහිව හඬ නැගූ රංජන් ජයලාල් සහ වසන්ත සමරසිංහ වැනි නායකයින් වත්මන් අර්බුදය හමුවේ නිහඬව සිටීම පුදුම සහගත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.මේ අතර, වර්තමාන විදුලිබල අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසමේ නඩු පවරා ඇති බැවින්, ඔහු වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වී අදාළ පරීක්ෂණ සඳහා සහාය විය යුතු බවට සමගි ජන බලවේගය බලකර සිටියි. දූෂණ චෝදනා එල්ල වී ඇති පසුබිමක තවදුරටත් අමාත්‍ය ධුරයේ රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව ඔවුන්ගේ මතයයි.රට පත්ව ඇති මෙම දරුණු අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ආණ්ඩුව සිය උද්දච්චකම පසෙක ලා වහාම විපක්ෂයේ දේශපාලන පක්ෂ කැඳවා සාකච්ඡා කළ යුතු බව පත්බේරිය මහතා අවධාරණය කළේය. ජාතික මට්ටමේ එකඟතාවයකින් තොරව හුදකලා තීරණ ගැනීමෙන් පවතින ගැටලු තවදුරටත් උග්‍ර වන බව ඔහු අවසාන වශයෙන් පෙන්වා දුන්නේය.


























