බස් ගාස්තු සඳහා කාඩ්පත් මගින් ගෙවීම් හඳුන්වා දීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එක්සත් ප්‍රවාහන වෘත්තීය සමිති සන්ධානය සිය කනස්සල්ල පළ කර ඇත. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ බැංකු කොමිස් මුදල් අසාධාරණ ලෙස ඉහළ යාමයි. බස් ගාස්තු සඳහා කාඩ්පත් ගෙවීම් හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ (24) දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී දියත් කරන ලදී. මෙම මුලපිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ප්‍රවාහන වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවසුවේ, ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදී බැංකු කොමිස් මුදල් 1% ට වඩා අඩු මට්ටමක පවතිනු ඇති බවට සහතික වූ බවයි. කෙසේ වෙතත්, රජය විසින් අනුමත කර ඇති ප්‍රමාණය උල්ලංඝනය කරමින් බැංකු විසින් 1.3% ත් 1.8% ත් අතර කාඩ්පත් ගනුදෙනු කොමිස් මුදල් අය කරන බව දැන් දැනගන්නට ලැබී ඇතැයි හෙතෙම කීය.“බස් හිමියන් තමන් මහන්සියෙන් උපයා ගත් ආදායම බැංකුවලට කොමිස් ලෙස ලබා දීමට සූදානම් නැහැ. අපි බැංකුවලින් ඉල්ලා සිටින්නේ අපට සහයෝගය දක්වන ලෙසයි. අපේ ආදායමෙන් බැංකු මුදල් ඉපයීම අසාධාරණයි. බැංකු පද්ධතිය ශක්තිමත් කිරීමට බස් රථ නැහැ. අඩු කොමිස් මුදල් යටතේ අපට සහාය දෙන ලෙස අපි බැංකුවලින් ඉල්ලා සිටිනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.






















