ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ හඳුන්වා දුන් ලිහිල් වෙළඳ රෙගුලාසි හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයට දැවැන්ත ප්‍රකෘතියක් අපේක්ෂා කෙරේ. නව සංශෝධන යටතේ, ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට ලෝකයේ ඕනෑම රටකින් අමුද්‍රව්‍ය ලබාගෙන නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා ද බ්‍රිතාන්‍ය වෙළඳපොළට තීරුබදු රහිතව ඇතුළු වීමේ අවස්ථාව හිමි වේ. මීට පෙර පැවති කලාපීය මූලාශ්‍ර සීමාවන් සහ නිෂ්පාදන ක්‍රියාවලීන් පිළිබඳ දැඩි කොන්දේසි ඉවත් කිරීම මෙහි ඇති විශේෂත්වයයි.ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණ මගින් දෙරට අතර පොදු සමෘද්ධියක් ඇති වන අතර, සරල කළ මූලාරම්භක රීති හරහා ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණයට සහ ආර්ථික වර්ධනයට විශාල සහයෝගයක් ලැබෙන බවයි. දැනටමත් ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍යයට යවන අපනයනවලින් 60% කට වඩා නියෝජනය කරන ඇඟලුම් ක්ෂේත්‍රය, ලක්ෂ 10 ක පමණ ජනතාවගේ ජීවනෝපාය සපයන බැවින් මෙම සහනය මෙරට ආර්ථිකයට ඉතා තීරණාත්මක වේ. මීට අමතරව, ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍යයට යවන නිෂ්පාදනවලින් 90% කට වැඩි ප්‍රමාණයකට දැන් මෙම තීරුබදු රහිත වරප්‍රසාදය හිමි වේ.මෙම වෙනස තුළින් ජාත්‍යන්තර සැපයුම් දාමයන් තුළ මෙතෙක් ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යුහාත්මක අවාසි ඉවත් වන බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) ලේකම් ජෙනරාල් යොහාන් ලෝරන්ස් මහතා පෙන්වා දෙයි. බ්‍රිතාන්‍යය යනු ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ඇඟලුම් අපනයන වෙළඳපොළ වන අතර, වසරකට එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් පමණ වේ. නව ක්‍රමය යටතේ පිරිවැය සහ කාලය කළමනාකරණය කරමින් වඩාත් තරඟකාරී ලෙස ගෝලීය වෙළඳපොළ ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වී ඇත.


























