මෑතකදී මෙරටට ආනයනය කරන ලද ගල්අඟුරු නැව් අටක අඩංගු ගල්අඟුරු බාල ප්‍රමිතියෙන් යුක්ත බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කරමින් ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. සාමාන්‍යයෙන් මෙරටට වසරකට ගල්අඟුරු නැව් 36ත් 38ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බවත්, රුසියාවෙන් ගෙන්වූ නැව් 11 සම්බන්ධයෙන් ගැටලු මතු නොවූවත්, නව ටෙන්ඩරය යටතේ දකුණු අප්‍රිකාවෙන් ඇණවුම් කළ නැව් 25ක ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. නොරොච්චෝල බලාගාරයේ දහන වාර්තාවලට අනුව, නව ටෙන්ඩරය යටතේ මෙතෙක් ලැබී ඇති නැව් අටෙන්ම අපේක්ෂිත මෙගාවොට් 300ක විදුලි උත්පාදනය සිදු වී නොමැති බවත්, එය පිළිවෙළින් මෙගාවොට් 285, 290, 260, 295, 285, 270, 275 සහ 255 වැනි පහළ අගයන් ගෙන ඇති බවත් ඔහු දත්ත සහිතව සනාථ කළේය.මෙම දත්ත ස්වයංක්‍රීයව ජනනය වන වෙනස් කළ නොහැකි විද්‍යාත්මක වාර්තා බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, බාල ගල්අඟුරු භාවිතය නිසා ඉන්ධන පරිභෝජනය ඉහළ යාම, මෙහෙයුම් පිරිවැය වැඩිවීම සහ යන්ත්‍රෝපකරණවලට හානි සිදුවීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීය. විදුලි උත්පාදනයේ සිදුවන මෙම අඩුව පියවා ගැනීමට අතිරේකව ගල්අඟුරු ආනයනය කිරීමට හෝ ඩීසල් බලාගාර මත යැපීමට සිදුවන බවත්, එහි අවසාන ප්‍රතිඵලය ලෙස පාරිභෝගිකයා මත පැටවෙන විදුලි ගාස්තු ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය. සැපයුම්කරුවන්ගේ සුදුසුකම් ලිහිල් කරමින් ටෙන්ඩර් පිරිවිතරයන් වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය විවේචනය කළ ප්‍රේමදාස මහතා, මෙම ගනුදෙනුවල විනිවිදභාවය පිළිබඳව වහාම කරුණු පැහැදිලි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.


























