බාලදක්ෂ ව්‍යාපාරයට දේශපාලන පත්වීම් එපා – මනෝජ් නානායක්කාරගේ පත්වීම ගැන බහුජන බලය විරෝධය පළ කරයි

බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රධාන කොමසාරිස් ධුරය සඳහා මනෝජ් නානායක්කාර මහතා පත් කිරීම මඟින් එම ස්වේච්ඡා ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක් කර ඇති බව බහුජන බලය සංවිධානයේ අංජන උදාර මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, බාලදක්ෂ විධායක සභාවේ ක්‍රමවේදයන්ගෙන් බැහැරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදු කර ඇති බවයි. නුසුදුසු සහ විනයක් නොමැති පුද්ගලයන් මෙවැනි වගකිවයුතු තනතුරුවලට පත් කිරීම හේතුවෙන් වසර ගණනාවක් සේවය කළ ස්වේච්ඡා නායකයන් කලකිරීමට පත්ව ඇති බවත්, මනෝජ් නානායක්කාර මහතා සිය යූ ටියුබ් නාලිකාව හරහා දේශපාලනය කරමින් නුසුදුසු වචන භාවිත කරන බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.​මෙහිදී අදහස් දැක්වූ දිනා රසංජනී සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ, අමාත්‍ය ලාල් කාන්ත මහතා මහා සංඝරත්නයට සහ නීතිඥ ප්‍රජාවට සිදු කරන අපහාසාත්මක ප්‍රකාශ දැඩි ලෙස හෙළා දකින බවයි. බෞද්ධ ශාසනය හෝ චීවරයේ ගෞරවය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව අමාත්‍යවරයා කටයුතු කරන බවත්, උගත් නීතිඥයන්ට “කළු කෝට්කාරයන්” යැයි පවසමින් අපහාස කිරීම තුළින් ආණ්ඩුව උගතුන් කෙරෙහි දක්වන වෛරය ප්‍රදර්ශනය වන බවත් ඇය පෙන්වා දුන්නාය. ජනතාව මාලිමාවට ඡන්දය ලබා දුන්නේ වැරදීමකින් බවත්, බලය ලැබුණු පසු පාලකයන් උමතුවෙන් මෙන් හැසිරෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.​එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදි බව පවසන “අලුත් පියාපත්” වැනි සංවිධානවලට තමන් සමඟ විවාදයකට එන ලෙස අංජන උදාර මහතා මෙහිදී අභියෝග කළේය. රජයේ ක්‍රියාකලාපය නිසා ජනතාව අසීරුතාවට පත්ව ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ සිටම තමන්ගේ පන්තියේ මිනිසුන්ට බොරු කරමින් සිටින බවද මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 981

Leave A Reply

Your email address will not be published. Required fields are marked *