බිලියන 10ක මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ නෞකාව: සැකකරුවන් 10කට සත්දින රැඳවුම් නියෝග

දකුණු මුහුදේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ නවීන පන්නයේ ගිනිඅවි තොගය සම්බන්ධ සැකකරුවන් දසදෙනා, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබේ. බහුදින ධීවර යාත්‍රා දෙකක් සහ ඉන් ගමන් කළ පිරිස ඉකුත් 12 වනදා දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කරන ලදී.​මෙම වැටලීමේදී රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 176ක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478කට අධික ප්‍රමාණයක් අඩංගු වන අතර, සමස්ත මත්ද්‍රව්‍ය බර කිලෝග්‍රෑම් 654ක් පමණ වන බව වාර්තා වේ. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින් මේවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක කෙරේ.​මත්ද්‍රව්‍යවලට අමතරව එම යාත්‍රා තුළ තිබී අතිනවීන ගිනිඅවි සහ පතොරොම් තොගයක් ද සොයාගැනීමට හැකි විය. පිස්තෝල අවි 8ක්, මැගසින් 15ක්, ටී-56 වර්ගයේ ගිනිඅවි 2ක් සහ එම්-16 වර්ගයේ නවීන ගිනිඅවියක් ඇතුළු පතොරොම් ගැබ් කිහිපයක් මෙලෙස නාවික හමුදා භාරයට පත්ව තිබුණි. මෙම අවි ආයුධ මෙරට පාතාල කල්ලි වෙත බෙදාහැරීමට සැලසුම් කර තිබුණේ ද යන්න පිළිබඳව දැන් විශේෂ අවධානයක් යොමුව ඇත.​අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 49ත් අතර පසුවන පුද්ගලයන් වන අතර ඔවුන් ඉරණවිල, මහවැව, වෙන්නප්පුව, මීගමුව සහ තංගල්ල වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ආනයනය කිරීම, ජාවාරම් කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන බරපතළ චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.​මෙම මහා පරිමාණ ජාවාරම පිටුපස සිටින ප්‍රධාන මොළකරුවන් සහ මෙම මත්ද්‍රව්‍ය තොගයේ අවසන් ගමනාන්තය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ වන විට පුළුල් මෙහෙයුමක් දියත් කර තිබේ. අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝගය යටතේ ඉදිරි දින කිහිපය තුළ සැකකරුවන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,049

Leave A Reply

Your email address will not be published. Required fields are marked *