ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් මධ්‍යම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් (Amber) වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙරවරු 8:30 ට පමණ උතුරු අක්ෂාංශ 4.5 සහ නැගෙනහිර දේශාංශ 89.0 ආසන්නයේ මෙම පද්ධතිය ස්ථාපිත වී ඇති බව වාර්තා වේ.මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 50-60 දක්වා වන ප්‍රබල සුළං ඇති විය හැකි අතර, මුහුද රළු හෝ ඉතා රළු වීමේ වැඩි හැකියාවක් පවතී. මෙම නිවේදනය ප්‍රධාන වශයෙන් බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව වෙත යොමු කර ඇති අතර, පද්ධතියේ වර්ධනය පිළිබඳව දෙපාර්තමේන්තුව දැඩි අවධානයෙන් පසුවේ. එබැවින් ඉදිරියේදී නිකුත් කරන කාලගුණ අනාවැකි පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙස සමුද්‍රීය ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.


























