​බෙංගාල බොක්කේ පීඩනය තදබල පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි: දිවයිනට රතු නිවේදනයක්!

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය තදබල පීඩන අවපාතයක් (Deep Depression) දක්වා වර්ධනය වී ඇති බැවින් දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි කාලගුණික බලපෑම් එල්ල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (ජනවාරි 09) පෙරවරුවේ මඩකලපුවට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිරින් පිහිටි මෙම පද්ධතිය, අද සවස් කාලය වන විට පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් ලංකාවේ වෙරළ තීරයට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ හේතුවෙන් උතුර, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වය තදින් ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශ සඳහා “රතු නිවේදනයක්” නිකුත් කර තිබේ.​විශේෂයෙන්ම ජනවාරි 09 වන දින මුලතිව්, යාපනය, වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත. එමෙන්ම උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල පැයට කිලෝමීටර් 50-60ත් අතර ප්‍රබල සුළං ඇති විය හැකි අතර, ඇතැම් විට එය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකිය. මෙම අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලික නිවාස හා ගොඩනැගිලිවලට හානි සිදුවීම, ගස් කඩාවැටීම, විදුලි හා සන්නිවේදන මාර්ගවලට බාධා එල්ල වීම මෙන්ම පහත් බිම් ජලයෙන් යටවීම හා නායයෑම් අවදානම් මතු විය හැකි බවද වාර්තා වේ.​පවතින අවදානම සැලකිල්ලට ගෙන වෙරළාසන්නයේ වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසත්, සෙසු ජනතාව හැකිතාක් නිවෙස් තුළට වී සිටින ලෙසත් බලධාරීන් උපදෙස් දෙයි. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල මාර්ග භාවිතා කරන රියදුරන් සහ නායයෑම් කලාපවල වෙසෙන පිරිස් දැඩි අවධානයෙන් පසුවිය යුතුය. හදිසි ආපදා තත්ත්වයකදී සහන සේවා ලබාගැනීම සඳහා ආපදා කළමනාකරණ ඒකක අමතන ලෙසත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

What's your reaction?

Related Posts

1 of 935

Leave A Reply

Your email address will not be published. Required fields are marked *