​බෝ නොවන රෝග මර්දනයට ‘ආරෝග්‍යා’ සුවතා මධ්‍යස්ථාන 250ක් දිවයින පුරා!

​මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන දැවැන්තම අභියෝගය බෝ නොවන රෝග බව හඳුනාගෙන ඇති අතර, එය ජය ගැනීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දැඩි ලෙස ශක්තිමත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව පවතින සෞඛ්‍ය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා මෙම වසර තුළ පමණක් දිවයින පුරා ‘ආරෝග්‍යා’ සුවතා මධ්‍යස්ථාන 250ක් අලුතින් ස්ථාපිත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.​මෙම සුවිශේෂී ව්‍යාපෘතියේ මීළඟ පියවර ලෙස එළඹෙන 24 වැනිදා දිවයිනේ ප්‍රදේශ 42ක් ආවරණය වන පරිදි නව සුවතා මධ්‍යස්ථාන 42ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. දැනටමත් මහනුවර, මාතලේ, කුරුණෑගල, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතිවල සාර්ථකත්වය පාදක කරගනිමින් මෙම වැඩසටහන දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාවට නැංවීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.​මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සේවා කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ ජංගම සායනයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. එහිදී ඔහු අවධාරණය කළේ නිශ්චිත ප්‍රදේශයක ජනගහනයකට වගකියන සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහ කැපවූ සෞඛ්‍ය කණ්ඩායමක් මෙරට සෑම පුරවැසියෙකුටම ලබා දීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බවයි.​මෙම නව සුවතා මධ්‍යස්ථාන ජාලය හරහා අදාළ ප්‍රදේශයේ ජනතාවට මූලික ප්‍රතිකාර ලබා දෙන අතර, විශේෂිත වෛද්‍ය උපදෙස් හෝ වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් ප්‍රධාන රෝහල්වල සායන සඳහා යොමු කිරීමේ ක්‍රමවේදයක් ද සකස් කර ඇත. මේ හරහා ප්‍රධාන රෝහල්වල පවතින අධික තදබදය අවම කරමින් වඩාත් විධිමත් සෞඛ්‍ය සේවාවක් ජනතාවට සමීප කිරීමට අපේක්ෂිතය.​මෙම වැඩපිළිවෙළේ මූල්‍ය ශක්තිය වෙනුවෙන් මෙවර අයවැය මගින් රුපියල් මිලියන 1500කට අධික සුවිශාල මුදලක් වෙන් කර තිබීම විශේෂත්වයකි. එම ප්‍රතිපාදන යොදවමින් මධ්‍යස්ථානවල භෞතික පහසුකම් දියුණු කිරීමට මෙන්ම වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික මෙවලම් හඳුන්වා දීමට ද අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.​අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පුරවැසියාගේ සෞඛ්‍යය පිළිබඳ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සෘජුවම භාරගැනීම මෙම සියලු ව්‍යාපෘතිවල අවසන් අරමුණ බවයි. ඒ සඳහා ජනතාව වෙනුවෙන් කැපවූ සහ මානුෂීය ගුණාංගවලින් හෙබි සෞඛ්‍ය සේවක කණ්ඩායමක් නිර්මාණය කිරීමේ කටයුතු ද මේ වන විට අමාත්‍යාංශ මට්ටමින් සිදු කෙරෙමින් පවතී.​නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මගින් බෝ නොවන රෝග වසංගතය පාලනය කිරීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කිරීම වෙනුවෙන් මෙම ‘ආරෝග්‍යා’ සුවතා මධ්‍යස්ථාන ඉදිරියේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාස කෙරේ.

What's your reaction?

Related Posts

1 of 969

Leave A Reply

Your email address will not be published. Required fields are marked *