මට නංගි-මල්ලි කිව්වට දැන් රිදෙන්නේ නැහැ…! දැන් ගානක්වත් නැහැ මට

මොකක්ද මම කරපු වරද? මල්ලි කෙනෙක්ගේ අවයව එක්ක ඉපදුන මට ඇයි නංගි කියන්නේ? ඩෙන්වර් මාක් මාස ගාණකට කලින් කාමිල් මලා.

කාමිල් කියන්නේ මගේ තාත්තා කියන මනුස්සයාගේ හොඳ යාළුවෙක්. අපි කුළියට හිටියේ IDH හංදියේ කොහිලවත්ත පාරේ ගෙවල් පේළියේ අන්තිම ගෙදර.

ගොඩාක් දවස්වලට ඔය මනුස්සයා අපේ ගෙදරට බොන්න එනවා.

ඒ මනුස්සයාට සල්ලි තිබුණා. ඒක හින්දා හැමෝම වගේ බොන්න වගේම සල්ලි මදි පාඩුවකට යන්නේ ඌ ගාවට. කාමිල් අපේ ගෙදර බොන්න එනකොට හැමදාම බයිට් හදන්නේ අපේ අම්මා.

නමුත් හැමදාම උගේ බයිට් එක වුණේ ගොඩාක් පොඩි මම. මට මුලින්ම නංගි – මල්ලි කියන්නේ මේ මනුස්සයා. ඒ අපේ ගෙදර කට්ටිය ඉස්සරහාමයි.

ඌ එහෙම කිය කිය හැමදාම හිනා වුණා. අපේ අයත් උගේ හිනාවට හිනා වුණා. පස්සේ පස්සේ ගෙදර අයට මාව අප්පිරියා වෙන්න ඇත්තෙ ඒ හින්දා වෙන්න ඇති.

ගෙදර ඇති කරපු කුකුළා හොරෙන් මරලා උන් බයිට් එකට කෑවේ මගේ ඇස් ඉස්සරහමයි. එදා මං හොඳටම ඇඬුවා. මං ගොඩාක් පොඩි කාලේ ඉඳන්ම, කිසිම දෙයක් නොදන්න කාලේ ඉඳන්ම මිනිස්සු මට නංගි – මල්ලි කියලා තියෙනවා.

ඒ ඇයි කියලා මම දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒක කියලා උන් හිනා වෙනකොට මම දැනගත්තේ එහෙම කියන්නේ අපහාස කරන්න කියලා.

ඉතින් මට ඔය වචනේ අහන අහන වාරයක් පාසා ගොඩාක් කේන්ති ගියා. මට තේරුණේ නැහැ මම කිසිම වරදක් නොකර ඇයි මේ මිනිස්සු මට අපහාස කරන්නේ කියලා.

මොකක්ද මම කරපු වරද? මල්ලි කෙනෙක්ගේ අවයව එක්ක ඉපදුන මට ඇයි නංගි කියන්නේ? මිනිස්සු මට නංගි – මල්ලි කියන්නේ මම ඇවිදින විදිහ, කතා කරන විදිහ, හැසිරෙන විදිහ, කරන දේවල් නිසා බව මට තේරුණේ ඔය නම මම තරුණ කාලය වෙනකම් ම අහපු නිසා.

මම “ගෑණු වැඩ” කරනවා කියලා ඒ අය කියන නිසයි. නමුත් මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ ඇයි ඒවා ගෑණු වැඩ කියන්නේ කියලා. මගේ හොඳම යාළුවා වුණෙත් අපේ ගෙවල් පේළියේ හිටපු මට වඩා අවුරුද්දක් වැඩිමහල් ගෑණු ළමයෙක්.

මට එයා තවම මගේ හොඳම යාළුවා තමයි. මට, මාව පිළිගන්න ඔය අපහාස කියන හැම වචනයක්ම උදවු වුණා. මම මගේ අනන්‍යතාවය පිළිගෙන ජීවත් වෙන්න පටන් ගත්තේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම.

මට ඒක කවුරුත් ඉගැන්නුවේ නැහැ. ඉස්කෝලෙන් පස්සේ වැඩියෙන් සමාජගත වෙන්න පටන් ගත්තහම, එක එක අනන්‍යතා තියෙන මිනිස්සු ආශ්‍රය කරන්න පටන් ගන්නකොට මගේ පුංචි කාලේ ගැන මම හිතන්න පටන් ගත්තා.

විශේෂයෙන්ම මිනිස්සු මට නංගි – මල්ලි කියලා කියනකොට ඇයි මට තරහා ගියේ? මට තේරුණා සමාජයේ ගෑනියෙක් වෙන එක පහත් දෙයක් බවත්, විශේෂයෙන්ම පිරිමියෙක් ගෑනු වැඩ කරන එක නින්දිත දෙයක් බව කියලා හංවඩු ගැහිලා තියෙන නිසයි නංගි – මල්ලි කියන එක අපහාසය ක් විදිහට ලේබල් වෙලා තිබුණේ කියලා.

ඒත් මම වැඩියෙන්ම ආදරය කරන මගේ අම්මා ගෑනියෙක්. මගේ ජීවිතේ ගැන වැඩියෙන්ම දන්න, අම්මට වඩා මගේ ළඟින්ම ඉන්න මගේ අක්කා ගෑනියෙක්.

මගේ හොඳම යලුවා ගෑනියෙක්. ඉතින් ගෑනියෙක් වෙන එක ඇත්තටම අපහාසයක්ද? ගෑනුකම – පිරිමිකම කියලා දේවල් ලේබල් කරන්නෙම සමාජයෙන් බව මිනිස්සු දකින තාක් කල්, කොහේවත් නැති ගෑනුකමක්, පිරිමිකමක් ඔළුවේ තියාගෙන කට්ටියක් උසස් කියලත්, කට්ටියක් පහත් කියලත් ලේබල් වෙනවා.

සමාජභාවය (Gender) කියන්නේ සමාජ නිෂ්පාදිතයක් (Social Construct) මිසක ජීව විද්‍යාත්මක (Biological) සාධයක් නෙමෙයි. ඊට පස්සේ මට නංගි මල්ලි කියලා කියන හැම වෙලාවකම මම කිව්වේ ඔයගොල්ලො කියන විදිහට, කවි ගී ලියන විදිහට, ‘උඹේ අම්මට’ කියපු ගමන් මළ පනින විදිහට දරුවෙක් වදල ගෙදර බුදුන් වෙන්න පුළුවන් නම් ගෑනියෙක්ට, එහෙනම් මම ගෑනියෙක් වෙන එක මට අපහාසයක් නෙමෙයි කියලා.

ජීව විද්‍යාත්මක ලිංගය (Biological Sex) කියන්නේ වෙන දෙයක්. සමාජභාවය (Gender) කියන්නේ වෙන දෙයක්. ශිෂ්නයක් තියෙන මනුස්සයෙක් රෝස පාට ඇඳුම් ඇන්දට, යෝනියක් තියෙන මනුස්සයෙක් වෙන්නේ නැහැ. ඒ, ඒ මනුස්සයා කැමති පාට.

රෝස පාට “ගෑණු පාට” කියලා කිවුවෙ කවුද? මට නම් ගෑනියෙක් කියන්නේ නිකම්ම නිකං මනුස්සයෙක් විතරයි. ඒ මගේ අම්මා ගෑනියෙක් නිසාවත්, එයා ගෙදර බුදුන් වෙන හින්දවත්, මගේ අක්කා ගෑනියෙක් නිසාවත්, එයා තමයි මට ළඟින්ම ඉන්න කෙනා නිසාවත් නෙමෙයි.

අපි හැමෝම ඉපදෙන්නේ ප්‍රාණයක් ඇතිව නිසාමයි. Ladies 1st, Be a gentleman සංකල්ප අපිට එන්නේ අධිරාජ්‍යවාදී, වික්ටෝරියානු සම්ප්‍රදායෙන්. බීජ වපුරන පිරිමි උසස්, ගෑනු ඉන්නේ ඒ බීජ ඵල දරන්න විතරයි කියන සමාජ මතය එන්නෙම ඔය බයිබලය පදනම් කරගත් වික්ටෝරියානු සදාචාරයෙන් ම තමයි.

ගෑනු උසස් වෙන්නේ ළමයි වදන නිසා විතරයි කියන මතය එන්නෙත් එතැනින්. ඊට පරිබාහිරව ගෑනියෙක්ට ඔය කියන වික්ටෝරියානු සමාජ ක්‍රමය තුළ වෙන ඉඩක් නැහැ. අනේ ඉතින් පන්සීයක කොච්චර ද එකක් තියෙනවා කියන අපේ කට්ටිය, අර වික්ටෝරියානු සම්ප්‍රදාය දැන් කර තියාගෙන හතර වටේ වනනවා.

ඒක පරම්පරාවෙන් පරම්පරාවට ඇවිත් ගෑනියෙක් එක්ක සංවේදී වෙන පිරිමියත් අඩු කුලේ වෙන තරමට මේ සමාජ ක්‍රමය පත් වෙලා. ගැහැණියෙක් මනුෂ්‍යයෙක් විදිහට නොදකින තාක්කල් මේ ක්‍රමය දිගටම යයි.

වරද බහුතර පිරිමින්ගේ නෙමෙයි. වරද බලය ඇති පුරුෂාධිපතිත්වයෙන් “ලාභ” ලබන ඔය ක්‍රමය පවත්වාගෙන සුළුතර පිරිමි කොටසක් නිසයි. අර බහුතර පිරිමි කොටසත් උන්ගෙම ඉත්තෝ විතරයි.

උඩ තැනින්ම ඕක වෙනස් නොවුණොත් වදන්න පුළුවන් ගෑනු හැරෙන්න හැම ගෑනියෙක්ම වේ*යෙක් විදිහට ලේබල් වෙනවා නියතයි. දැනටමත් එහෙම නෙමෙයි ද? මට නංගි – මල්ලි කිව්වට දැන් රිදෙන්නේ නැහැ! ගැහැණු, පිරිමි, මල්, පළතුරු හැමෝටම සුබ කාන්තා දිනයක්!

(ඩෙන්වර් මාක් මුහුණුපොතේ පළ කළ සටහනකි. ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය යොදාගෙන සංස්කාරක විසින් නිර්මාණය කරවාගන්නා ලද්දකි.)

ලිපිය උපුටා ගැනීමකි…  

What's your reaction?

Related Posts

1 of 691

Leave A Reply

Your email address will not be published. Required fields are marked *