මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීමට මැදිහත් වූ බවට චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙම පිරිස අතර එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු (SDIG) සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙකු ද වෙති. අදාළ නිලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත තොරතුරු ලබා දී ඇත්තේ ද පොලිස් නිලධාරීන් විසින්ම වීම විශේෂත්වයකි.වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි, ඔහුගේ සෘජු අධීක්ෂණය යටතේ පවතින විශේෂ විමර්ශන ඒකකය මගින් මේ වන විටත් මූලික විමර්ශන ආරම්භ කර ඇත. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, සැකකරුවන් මුලින්ම අත්අඩංගුවට ගත් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය. එහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අදාළ සැකකරුවන් නිදහස් කරවා ගැනීම සඳහා කුමන ආකාරයකින් බලපෑම් කළේ ද යන්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.


























