මධ්‍යම කඳුකරය සුරැකීමට ජනපතිගෙන් නව ඒකාබද්ධ යාන්ත්‍රණයක්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යළි ගොඩනැගීමේදී ඉදිකිරීම්, ඉඩම් කළමනාකරණය, කෘෂිකර්මාන්තය සහ පරිසර සංරක්ෂණය යන අංශවලට අදාළ ආයතන වෙන් වෙන්ව හුදකලාව කටයුතු කිරීම විශාල අභියෝගයක් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම සඳහා සියලු පාර්ශවයන් සම්බන්ධ කරගත් නව ඒකාබද්ධ රාමුවක් සැකසීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මධ්‍යම කඳුකරයේ ආරක්ෂාව සහ වනාන්තර ප්‍රතිස්ථාපනය පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව (ADB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ රජයේ හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ ඊයේ (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. ​’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නායයාම් 4,000කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බවත්, කාලාන්තරයක් තිස්සේ සිදු වූ අනවසර ඉදිකිරීම්, වගා කටයුතු සහ නිසි නඩත්තුවක් නොමැතිකම මෙම තත්ත්වයට බෙහෙවින් බලපා ඇති බවත් මෙහිදී අවධාරණය කෙරිණි. මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර මතු පරපුර වෙනුවෙන් දායාද කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක ඇති හදිසි අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මෙම කටයුතු අධීක්ෂණය කිරීම සඳහා නීත්‍යානුකූලව බලය පැවරූ අධිකාරියක අවශ්‍යතාව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහි ක්‍රියාත්මක කිරීම් කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.​මෙම වැඩපිළිවෙළ සඳහාම වෙන් වූ මූල්‍ය අරමුදලක් පවත්වාගෙන යාමේ වැදගත්කම ආසියානු සංවර්ධන බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් පෙන්වා දුන් අතර, මධ්‍යම කඳුකරය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවට ද ඔවුහු සහතික වූහ. මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත ඇතුළු අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 980

Leave A Reply

Your email address will not be published. Required fields are marked *