පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ පොදු දේපළවලට අලාභහානි සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි. අද (10) පෙරවරුවේ එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙය කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් සැලසුම් සහගතව සිදුකරනු ලබන විනාශකාරී ක්‍රියාවක් බවයි.පාරිභෝගික පහසුකම් විනාශ කිරීමේ සිදුවීම් කිහිපයක්ම මෙහිදී වාර්තා වී ඇති අතර, විශේෂයෙන්ම කාන්තා වැසිකිළි පද්ධතිය ඉලක්ක කර ගනිමින් මෙම හානි සිදුකර තිබේ. එහි සවිකර තිබූ ජල කරාම පළමු දින ඉවත් කර තිබූ අතර, බලධාරීන් විසින් ඒවා යළි සවිකිරීමෙන් පසු ඊයේ (09) රාත්‍රියේදීත් දෙවන වරටත් එම කරාම ගලවා දමා ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බස් නැවතුම්පොළ පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අද දිනයේදීම විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. එහිදී අදාළ අංශ සමඟ එක්ව පොදු දේපළ ආරක්ෂා කර ගැනීමට ගත හැකි ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.පොදු ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන මෙවැනි ස්ථාන විනාශ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, නිරීක්ෂණ චාරිකාවෙන් අනාවරණය වූ කරුණු මත පදනම්ව ඉදිරි නීතිමය සහ ආරක්ෂක වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






















