පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් (අහෝසි කිරීමේ) පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම පිළිබඳ විවාදය අද (17) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව සරල බහුතරයකින් මෙය සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවත් කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මෙම පනත මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, එය සම්මත කිරීමට විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවත් පවසමින් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.හිටපු මන්ත්‍රීවරුන් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 7 වැනිදා අධිකරණ අමාත්‍ය ආචාර්ය හර්ෂණ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. තවද, පෙබරවාරි 12 වැනිදා පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ද මීට හිමි විය.


























