මවට සහ කාන්තාවට ගරු කිරීමට අපොහොසත් වන සමාජයකට මව්බිම කෙරෙහි සැබෑ ආදරයක් හෝ ගෞරවයක් ගොඩනැගිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ඊයේ (08) මාතලේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා දින සැමරුම් උත්සවය අමතමින් ඔහු කියා සිටියේ, මෙරට ගොඩනැගී ඇත්තේ මව්වරුන්ගේ සහ කාන්තාවන්ගේ ආශිර්වාදය හා කැපකිරීම් මත බවයි. තමාගේ මවට, බිරිඳට සහ සහෝදරියට ආදරය කරනවා සේම මව්බිමට ද ආදරය කරන බවත්, මව්වරුන්ට ගරු කරන ආකාරයෙන්ම මව්බිමට ද ගරු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.රටේ ඇති වන ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුද හමුවේ මුලින්ම පීඩාවට පත්වන්නේ කාන්තාවන් බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම යුද සමයේදී තම දරුවන් යුද බිමට යවා මව්වරුන් අතිමහත් දුක් වේදනාවන් විඳි බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කිරීම නිසා දහස් සංඛ්‍යාත තරුණ පිරිසකට බියෙන් තොරව ජීවත් වීමට අවස්ථාව ලැබුණු බවත් ඔහු සිහිපත් කළේය. එම නිදහස උදෙසා රටේ මව්වරුන් සහ දියණියන් විශාල කැපකිරීමක් සිදු කළ බව ද ඔහු පැවසීය.ආර්ථික දුෂ්කරතා පවතින අවස්ථාවලදී ජීවන වියදම ඉහළ යාම හමුවේ නිවසේ වියදම් කළමනාකරණය කරමින් වැඩිම බරක් කරට ගන්නේ මව්වරුන් සහ බිරිඳන් බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. සමාජය තුළ කාන්තාව ඉටු කරන සුවිශේෂී කාර්යභාරය සැලකිල්ලට ගෙන, සෑම දේශපාලන පක්ෂයක්ම සහ රජයක්ම ඔවුන්ගේ අභියෝග සහ දායකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

























