​මව් භාෂා උරුමය රැක ගැනීම ලෝකයේ විවිධත්වය සුරැකීමේ පොදු වගකීමක් – අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

භාෂාමය අනන්‍යතාව සුරැකීම හුදෙක් සංස්කෘතික කටයුත්තක් පමණක් නොව, එය සමස්ත ලෝකයේම පවතින විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා වන පොදු මානුෂීය කැපවීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී අද (13) පැවැති ‘ජාත්‍යන්තර මව් භාෂා දින’ නිල සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. ‘විවිධ හඬවල්, පොදු මනුෂ්‍යත්වය’ යන කාලීන තේමාව යටතේ මෙවර උළෙල සංවිධානය කර තිබුණි.​ජාත්‍යන්තර මව් භාෂා දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා බංග්ලාදේශය ලබාදුන් ඓතිහාසික නායකත්වය මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් විය. එක් ජාතියක සැමරුමක් ලෙස ඇරඹි මෙම ව්‍යායාමය අද වන විට භාෂාමය අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ගෝලීය ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව ඇය පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකාවේ බහුවිධ භාෂාමය උරුමය යනු අර්බුදයක් නොව, රටේ සැබෑ ශක්තියක් බව අප හඳුනාගත යුතු බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.​සමාජ සහජීවනය ගොඩනැගීමේදී භාෂා අයිතීන් තහවුරු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව පෙන්වා දුන් අගමැතිනිය, බහුභාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම හරහා අනාගත පරපුර වඩාත් බලගැන්විය හැකි බව සඳහන් කළාය. වේගයෙන් වෙනස් වන ඩිජිටල් තාක්ෂණය හමුවේ කුඩා භාෂා අභාවයට යාමේ තර්ජනයක් පවතින බැවින්, නවීන තාක්ෂණය හා නිවැරදි ප්‍රතිපත්ති භාවිත කරමින් ඒවා සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු බවද ඇය අවධාරණය කළාය.​මෙම සැමරුම සනිටුහන් කරමින් දිවයින පුරා පාසල් දරුවන් වෙනුවෙන් සංවිධානය කර තිබූ චිත්‍ර, රචනා සහ කෙටි වීඩියෝ තරගවල ජයග්‍රාහකයන් වෙත සහතික හා සම්මාන පිරිනැමීමද අග්‍රාමාත්‍යවරිය අතින් සිදු විය. මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දීර්ඝකාලීන සංස්කෘතික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව අගමැතිනිය සිය කතාවේදී සිහිපත් කළාය.​බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බාලදක්ෂ සංගම්වල සහයෝගයෙන් පැවැති මෙම උත්සවයට නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි, බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දාලිබ් එලියාස්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ පාසල් දරුවන් රැසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,048

Leave A Reply

Your email address will not be published. Required fields are marked *