හිටපු අමාත්‍යවරුන් වන ජී.එල්. පීරිස්, අනුර පියදර්ශන යාපා, චන්න ජයසුමන සහ උදය ගම්මන්පිල ඇතුළු ‘මහජන හඬ’ නියෝජිතයින් පිරිසක් අද දින ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ඩියු ගුණසේකර මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. වමේ පක්ෂ සමඟ එක්ව වත්මන් පාලනයේ දුර්වලතා හෙළිදරව් කිරීම මෙහි අරමුණ වූ අතර, රජය විසින් යුදමය තත්ත්වයන් මුවාවෙන් තමන්ගේ අසාර්ථකත්වය වසා ගැනීමට උත්සාහ කරන බව නියෝජිතයෝ පෙන්වා දුන්හ. විශේෂයෙන්ම ගල්අඟුරු වංචාව සහ ඒ හා බැඳුණු විදුලි කප්පාදුව හරහා ජනතාව පීඩාවට පත් කරන අතරම, විධිමත් සැලසුමකින් තොරව හඳුන්වා දුන් QR ක්‍රමවේදය සහ නිවාඩු දින කප්පාදුව හේතුවෙන් සෞඛ්‍ය හා කෘෂිකර්ම ක්ෂේත්රයන් දරුණු කඩාවැටීමකට ලක්ව ඇති බව එහිදී අවධාරණය කෙරිණි.රටේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුර පියදර්ශන යාපා මහතා සඳහන් කළේ, ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව අනුගමනය කළ නොබැඳි පිළිවෙත වත්මන් රජය බිඳ දමා ඇති බවයි. BRICS වැනි ජාත්‍යන්තර සමුළුවල සහය ලබා ගැනීමට තිබූ අවස්ථාව මග හැරීම සහ කලාපීය බලශක්ති අර්බුදයන්ට පෙර සූදානමක් නොමැති වීම නිසා ආර්ථිකය තවදුරටත් අස්ථාවර වී ඇති බව ඔහු පැවසීය. ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් තෙල් ගෙන ඒමට රජය දුන් පොරොන්දු කඩවීමත්, පවතින උද්ධච්ච පාලන විලාසයත් හේතුවෙන් ඉදිරියේදී බලශක්ති අර්බුදය තවත් දරුණු විය හැකි බවට විපක්ෂය අනතුරු අඟවයි.චන්න ජයසුමන මහතා පෙන්වා දුන්නේ රජය ප්‍රමුඛතා හඳුනා නොගෙන කටයුතු කිරීම නිසා ඉන්ධන සහ විදුලිය සම්බන්ධයෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි. විශේෂයෙන්ම QR පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂ සහ අවිධිමත් තීරණ නිසා නව වාහන හිමියන් පවා අසරණ වී සිටින බව ඔහු පැවසීය. අවසාන වශයෙන්, රජය විසින් ජනතාව මුළා කිරීම සඳහා නැකත් පවා වෙනස් කරමින් සිදු කරන මිථ්‍යාමය ප්රයත්නයන් හෙළා දුන් නියෝජිත පිරිස, රට නිවැරදි මාවතකට ගැනීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් සමඟ ඉදිරියේදීත් සාකච්ඡා පවත්වන බව ප්‍රකාශ කළහ.
























