මැදපෙරදිග අර්බුදය හමුවේ ලංකාවට එල්ල වන තර්ජන: සජිත්ගෙන් හදිසි ‘PSOP’ වැඩපිළිවෙළක්

මෑතකාලීනව මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විද්වත් හමුවක් කොළඹදී පැවැත්විණි. විදේශ ප්‍රතිපත්ති විශේෂඥයන් සහ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී, කලාපීය නොසන්සුන්තාව හමුවේ මෙරට ස්ථාවරත්වය රැකගැනීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් විය.​මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල ආර්ථික හානියෙන් රට යථා තත්ත්වයට පත්වෙමින් පවතින මොහොතක, ඉන්දියන් සාගරය ආශ්‍රිතව වර්ධනය වන යුදමය බලපෑම් සුළුවෙන් තැකිය නොහැකි බවයි. විශේෂයෙන් පසුගියදා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නයේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමේ සිදුවීමත් සමඟ, ගෝලීය ගැටුම්වල රාවය මෙරට දොරකඩටම පැමිණ ඇති බව ඔහු අවධාරණය කළේය.​මෙම අභියෝග ජයගැනීම වෙනුවෙන් විපක්ෂ නායකවරයා විසින් PSOP (සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය) නැමැති නව ප්‍රතිපත්තිමය රාමුව හඳුන්වා දුන් අතර, රජය විසින් වහාම ක්‍රියාත්මක කළ යුතු ප්‍රමුඛතා හතරක් එහිදී ප්‍රකාශයට පත් කෙරිණි. එහි පළමු පියවර ලෙස ජාතික බලශක්ති හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බවත්, පවතින සීමිත ඉන්ධන සංචිත හමුවේ ගෝලීය තෙල් මිල ඉහළ යාමෙන් ආරක්ෂා වීමට සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති කඩිනම් කළ යුතු බවත් ඔහු පැවසීය.​විදේශගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම දෙවන ප්‍රමුඛතාව ලෙස හඳුනාගත් සජිත් ප්‍රේමදාස මහතා, මැදපෙරදිග සේවය කරන මිලියන 1.5කට අධික ලාංකිකයන්ගේ ජීවිත මෙන්ම ඔවුන් මෙරටට එවන විදේශ විනිමය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. යුදමය තත්ත්වයක් තුළ බැංකු පද්ධතිය අඩාල වුවහොත්, ඔවුන්ගේ වැටුප් ආරක්ෂිතව මෙරටට එවා ගැනීමට හැකි නවීන තාක්ෂණික විසඳුම් රජය විසින් සූදානම් කර තැබිය යුතු බව ඔහුගේ අදහස විය.​තෙවනුව, ලෝක වෙළඳපොළේ නැව් ගාස්තු සහ රක්ෂණ වාරික අතිවිශාල ලෙස ඉහළ යාම හේතුවෙන් මෙරට තේ සහ ඇඟළුම් අපනයනයට එල්ල වී ඇති තර්ජනය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මෙම පිරිවැය පාලනය කරමින් අපනයනකරුවන් රැකගැනීම සඳහා රජයේ මැදිහත්වීමෙන් යුත් විශේෂිත ‘සමුද්‍ර රක්ෂණ සංචිතයක්’ පිහිටුවීමේ අවශ්‍යතාව විපක්ෂ නායකවරයා විසින් යෝජනා කරන ලදී.​ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථභාවය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සිව්වන කරුණ ලෙස සාකච්ඡා විය. ඉන්දියන් සාගර කලාපීය සංගමය (IORA) තුළ ශ්‍රී ලංකාව නායකත්ව භූමිකාවක් ඉටු කරමින්, වෙළඳ නාවික මාර්ග යුද කටයුතු සඳහා භාවිත කිරීම වැළැක්වීමට ක්‍රියා කළ යුතු බවත්, හුදෙක් නිරීක්ෂකයෙකු නොවී කලාපීය සාමය වෙනුවෙන් පෙරමුණ ගත යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.​අවසාන වශයෙන්, විපක්ෂයේ කාර්යභාරය හුදෙක් විවේචනය කිරීම නොව විසඳුම් ඉදිරිපත් කිරීම බව පැවසූ ඒ මහතා, ගෝලීය අර්බුද හමුවේ වැඩකරන ජනතාව මත අමතර බදු බර පටවමින් ඔවුන් පීඩාවට පත් කිරීමට රජයට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළේය. රටේ ස්ථාවරත්වය වෙනුවෙන් තම පාර්ශවය සැමවිටම කැපවී සිටින බව පවසමින් මෙම හදිසි විද්වත් හමුව නිමාවට පත් විය.

What's your reaction?

Related Posts

1 of 1,048

Leave A Reply

Your email address will not be published. Required fields are marked *