කොළඹ මැලේ ක්‍රිකට් සමාජය (CMCC) මගින් සංවිධානය කරනු ලබන “වන් විස්ල්” (One Whistle) දැල්පන්දු තරඟාවලිය එළඹෙන දෙසැම්බර් 28 වනදා කොළඹ මැලේ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා මෙවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් 10ක් සහ විවෘත අංශයෙන් ක්‍රීඩා සමාජ කණ්ඩායම් 16ක් ඇතුළුව මුළු කණ්ඩායම් 26ක් තරඟ වැදීමට නියමිතය.මැලේ ක්‍රිකට් සමාජයේ සභාපති රොහාන් අලෝන්ග් (Rohan Allong) මහතාගේ මගපෙන්වීම යටතේ පැවැත්වෙන මෙම තරඟාවලියේ මූලික වටයේ තරඟ ලීග් ක්‍රමයට කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වේ. එහිදී දක්ෂතා දක්වන ඉහළම කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන අතර, අනතුරුව පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමය යටතේ අවසන් මහා තරඟය දක්වා තරඟාවලිය ක්‍රියාත්මක වේ.තරඟාවලියේ ජයග්‍රාහකයින් සහ අනුශූරයින් සඳහා කුසලාන ප්‍රදානය කිරීමට නියමිත අතර, දක්ෂතම වෙඩික්කරු (Best Shooter) සහ දක්ෂතම වින්ග් ප්‍රහාරකයා (Best Wing Attacker) වෙනුවෙන් විශේෂ ඇගයීම් පිරිනැමේ. මෙහි විශේෂම අංගය වන්නේ තරඟාවලිය අවසානයේ “නෙට්බෝල් රැජින” (Netball Queen) කිරුළ පැළඳවීමයි. මීට අමතරව සහභාගී වන සියලුම ක්‍රීඩකයින් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.උප සභාපති පැරි ජුමාට් (Parry Jumat) මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායකයින් සහ ජාතික පුහුණුකරුවන් රැසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.


























