මියන්මාරයේ සිට පැමිණි බෝට්ටුවක් පෙරළීමෙන් සිය ගණනක් අතුරුදන්

තායිලන්තය-මැලේසියාව මායිම ආසන්නයේ බෝට්ටුවක් පෙරළීමෙන් සිය ගණනක් අතුරුදන්ව ඇති අතර, පුද්ගලයන් 10 දෙනෙකු ජීවතුන් අතර සහ එක් මළ සිරුරක් සොයා ගත් බව මැලේසියානු සමුද්‍රීය අධිකාරිය පවසයි. මියන්මාරයේ බුතිඩෝං (Buthidaung) ප්‍රදේශයෙන් පුද්ගලයන් 300ක් පමණ රැගෙන පැමිණි මෙම යාත්‍රාව පෙරළී දින තුනකට පසු තවත් වින්දිතයන් මුහුදේ සිටිය හැකි බව මැලේසියාවේ උතුරු ප්‍රාන්ත වන කෙඩා සහ පර්ලිස් හි සමුද්‍රීය අධිකාරියේ අධ්‍යක්ෂ, ප්‍රථම අද්මිරාල් රොම්ලි මුස්තාෆා මහතා පැවසීය. ලංකාවී (Langkawi) වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ සිට සොයාගත් දිවි ගලවා ගත් අය අතර මියන්මාර ජාතිකයින් තිදෙනෙක්, රෝහින්‍යා ජාතිකයින් දෙදෙනෙක් සහ බංග්ලාදේශ ජාතිකයෙක් සිටි බවත්, සොයාගත් මළ සිරුර රෝහින්‍යා කාන්තාවකගේ බවත් රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ කෙඩා පොලිස් ප්‍රධානී ඇඩ්ස්ලි අබු ෂා මහතා උපුටා දක්වමිනි. ප්‍රධාන වශයෙන් මුස්ලිම් රෝහින්‍යා සුළුතරයේ සාමාජිකයින්ට බහුතර බෞද්ධ මියන්මාරයේ පුරවැසිභාවය ප්‍රතික්ෂේප කර අනිසි ලෙස සැලකීම නිසා ඔවුන් වරින් වර රටින් පලා යයි. මැලේසියාව බලා ගමන් කළ පිරිස මුලින් විශාල යාත්‍රාවකට ගොඩ වී ඇති නමුත්, ඔවුන් දේශසීමාවට ළං වූ පසු, බලධාරීන්ට හසු නොවීමට පුද්ගලයන් 100 බැගින් රැගත් කුඩා බෝට්ටු තුනකට මාරු වන ලෙස උපදෙස් දී ඇති බව ඇඩ්ස්ලි මහතා පැවසීය. අනෙක් බෝට්ටු දෙකෙහි තත්ත්වය දැන ගැනීමට නොහැකි වූ අතර, සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.

What's your reaction?

Related Posts

1 of 459

Leave A Reply

Your email address will not be published. Required fields are marked *