මිහින්තලේදී අලියෙකු ගිනිතබා මරා දැමූ සැකකරු සෙවීමට යුද හමුදා බුද්ධි අංශ සහ වනජීවී නිලධාරීන්ගෙන් මෙහෙයුමක්

මිහින්තලේ, සීප්පුකුලම, අඹගහවැව ප්‍රදේශයේදී වන අලියෙකුට ගිනි තබන අයුරු දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් අනුරාධපුර කලාපීය වනජීවී නිලධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සිද්ධියෙන් අලියා මියගොස් ඇති අතර, ඒ පිළිබඳ කරුණු අද (17) අධිකරණයට වාර්තා කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අලියාට ගිනි තැබූ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර කලාපීය නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එක්ව විශේෂ පරීක්ෂණ පවත්වයි.​මියගිය අලියා වයස අවුරුදු 50-55ත් අතර, උස අඩි නවයක් පමණ වන පිරිමි සතෙකි. මීට පෙරද මෙම අලියාගේ ඉදිරි වම් පාදයේ තිබූ වෙඩි උණ්ඩ තුවාලයක් සඳහා පණ්ඩුලගම පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් 2025 වසරේ මැයි 14, ජුනි 4 සහ ජූලි 3 යන දිනවලදී ප්‍රතිකාර ලබා දී තිබුණි. ඉන් පසුව අලියා පිළිබඳව වෙනත් තොරතුරු වාර්තා නොවූවත්, අනුරාධපුර කලාපීය වනජීවී නිලධාරීන් සතා පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවී ඇත.​කෙසේ වෙතත්, ඊයේ (16) දින මෙම අලියා අඹගහවැව ප්‍රදේශයේ ඉඩමක වැටී සිටියදී සොයාගනු ලැබූ අතර, එම අවස්ථාවේදී සතා ගිනි තැබීමෙන් සිදු වූ පිළිස්සුම් තුවාලවලින් සහ පැරණි වෙඩි තුවාලයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිට තිබේ. අනුරාධපුර වනජීවී නිලධාරීන්ගේ දැනුම් දීම මත පණ්ඩුලගම පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍ය මධුවන්ති මහත්මිය ඇතුළු කණ්ඩායම පැමිණ ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළද, ප්‍රතිකාර ලබමින් සිටියදීම අලියා මියගොස් ඇත.

What's your reaction?

Related Posts

1 of 893

Leave A Reply

Your email address will not be published. Required fields are marked *