ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ. බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදාවේ සහාය ඇතිව ජනවාරි 23 වනදා ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රා දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24ත් 50ත් අතර පසුවන අම්බලන්ගොඩ, කොස්වත්ත සහ හේරුවල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.පරීක්ෂාවට ලක් කළ යාත්‍රාවල තිබී පාර්සල් 270ක අසුරන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 184යි ග්‍රෑම් 528ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112යි ග්‍රෑම් 268ක් සොයාගෙන තිබේ. ජනවාරි 25 වනදා සැකකරුවන් දික්කෝවිට වරාය වෙත රැගෙන ආ අතර, ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය. මෙම ජාවාරමේ සුලමුල සෙවීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


























