සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ දත්තවලට අනුව 2025 වසරේ මේ දක්වා කාලය තුළ ඖෂධ වර්ග 93ක් තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වී ඇත. මෙලෙස අසමත් වූ ඖෂධ අතරින් 42ක් ඉන්දියාවේ නිෂ්පාදිත ඒවා වන අතර 25ක් මෙරට නිෂ්පාදිත ඖෂධ වේ. ඉතිරි ඖෂධ වර්ග චීනය, පකිස්ථානය, ජපානය සහ බංග්ලාදේශය වැනි රටවලින් මෙරටට ගෙන්වා ඇති බව අනාවරණය වී ඇත. ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගත් මෙම ඖෂධ අතරින් සමහරක් භාවිතයෙන් ඉවත් කිරීමට, තාවකාලිකව අත්හිටුවීමට හෝ භාවිතය නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2017 වසරේ සිට මේ දක්වා මුළු ඖෂධ තත්ත්ව අසමත්වීම් 600ක් වාර්තා වී ඇති බවයි. මෙහි උපරිම අගය ලෙස 2019 වසරේදී සිදුවීම් 96ක් වාර්තා වූ අතර 2022 දී ඖෂධ 86ක් සහ 2024 වසරේදී ඖෂධ 83ක් ලෙස තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වී ඇත. 2023 වසරේදී ඇතැම් ඖෂධ භාවිතය නිසා ඇති වූ සංකූලතා සහ මරණ හේතුවෙන් මේ පිළිබඳව දැඩි සමාජ කතාබහක් ඇති විය. වසර දෙකකට පමණ පසු, නිර්වින්දන ක්‍රියාවලිය හා සම්බන්ධ ‘ඔන්ඩන්සෙට්‍රෝන්’ (Ondansetron) ඖෂධය නිසා සිදු වූ බවට සැක කෙරෙන මරණ දෙකක් පිළිබඳ පුවතත් සමඟ මෙම ප්‍රශ්නය යළිත් කරළියට පැමිණ ඇති අතර, ඒ පිළිබඳ විමර්ශන තවමත් ක්‍රියාත්මක වේ.


























