2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව මෙරට නේවාසිකයන් අතර සිදුකෙරෙන සියලුම ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි ලෙස අවධාරණය කරයි. ඇතැම් පුද්ගලයින් දේශීය ගනුදෙනු සඳහා විදේශ මුදල් භාවිතා කරන බව නිරීක්ෂණය වී ඇති බව පවසන මහ බැංකුව, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් හෝ වෙනත් ආකාරයකින් විදේශ විනිමය ගිණුම්වලට ගෙවීම් භාර ගැනීමට කිසිදු වෙළෙන්දෙකුට අවසර ලබා දී නොමැති බව පැහැදිලි කරයි.මහ බැංකුව පෙන්වා දෙන්නේ නිසි අවසරයකින් තොරව මෙරට වෙළෙන්දෙකුට විදේශ මුදලින් ගෙවීම් කරන ඕනෑම නේවාසිකයෙකු හෝ එවැනි ගෙවීම් භාරගන්නා ඕනෑම වෙළෙන්දෙකු මහ බැංකු පනත යටතේ වරදක් සිදුකරන බවයි. එවැනි වරදකට වරදකරු කරනු ලබන පාර්ශවයන්ට රුපියල් මිලියන 25ක් දක්වා දඩයක්, වසර තුනක් දක්වා සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවීමට නීතිමය ප්‍රතිපාදන පවතී. මේ නිසා බරපතල නීතිමය ගැටලුවලින් වැළකීම සඳහා මෙම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවලට දැඩිව අනුකූල වන ලෙස මහ බැංකුව මහජනතාවගෙන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.


























