පාර්ලිමේන්තු සංකීර්ණය සහ අකුරේගොඩ පිහිටි ආරක්ෂක මූලස්ථානය ආශ්‍රිතව ගුවන් යානා පියාසර කිරීම සම්බන්ධයෙන් යුද සමයේ පනවා තිබූ සීමා ලිහිල් කිරීමට රජය සැලසුම් කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කෝඩිතුවක්කු මහතා ඊයේ ප්‍රකාශ කළේය. කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙසද හැඳින්වෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්සවීම සඳහා ගමන් මාර්ගයක් විවෘත කිරීම පිණිස දැනට පවතින නියුටිකල් සැතපුම් එකක තහනම් ගුවන් කලාපය අඩු කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඔහු පැවසීය. මෙම කලාපයේ ප්‍රමාණය අඩකින් අඩු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙම සාකච්ඡා සාර්ථක වුවහොත්, අඩු කළ ගමන් කාලයකින් පුද්ගලික ජෙට් යානාවලට රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළට පහසුවෙන් ගොඩබැසීමට ඉඩ සැලසෙනු ඇතැයි ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, රාත්‍රී මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීම පිණිස ‘Instrumental Landing System’ (ගුවන්යානා ගොඩබැස්වීමේ උපකරණ පද්ධතිය) එක් කිරීම අවශ්‍ය බවද ඔහු පැවසීය. “මේවා යුද සමයේ පනවා තිබූ සීමා. දැන් අපි රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා මේවා අඩු කිරීමට ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කරමින් සිටිනවා” යැයි ඔහු පැවසීය. පාර්ලිමේන්තුවට ඉහළින් ඇති තහනම් ගුවන් කලාපයේ සීමා ඉවත් කරමින් රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය කෝඩිතුවක්කු මහතා මේ බව පැවසීය. තහනම් ගුවන් කලාපයේ ප්‍රමාණය අඩු කිරීම පුද්ගලික ජෙට් යානා ගුවන් තොටුපළට ගොඩබෑමට උනන්දු කරනු ඇතැයි කරුණානායක මහතා පැවසීය.
























