යෙහෙළියකගේ නිරුවත් ඡායාරූප මිතුරන් අතර බෙදාහළ තරුණයෙකුට සිරදඬුවම් සහ වන්දි!

තම මිතුරෙකුගේ පෙම්වතියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන වෙනත් මිතුරන් අතර බෙදා හැරීමේ චෝදනාවට වරදකරු වූ තරුණයෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කළ අතර එය වසර දහයක කාලයකට අත්හිටුවීමට නියෝග කළේය. මීට අමතරව, අගතියට පත් තරුණියට රුපියල් 75,000 ක වන්දියක් ගෙවන ලෙසත්, රුපියල් 2,500 ක දඩයක් ගෙවන ලෙසත් විත්තිකරුට නියෝග කෙරිණි.​අධිකරණයේදී අනාවරණය වූ කරුණු අනුව, පැමිණිලිකාර තරුණිය සහ ඇගේ පෙම්වතා අතර සබඳතාව බිඳී යාමෙන් පසු ඇය විත්තිකාර තරුණයා සමඟ දිගුකාලීනව සමීපව ඇසුරු කර තිබේ. එම කාලය තුළ ඇය විසින් සිය නිරුවත් ඡායාරූප විත්තිකරු වෙත යවා ඇති අතර, පසුව ඔහු එම ඡායාරූප සිය මිතුරන් සිටින වට්ස්ඇප් (WhatsApp) සමූහයකට මුදා හැර ඇත. මේ පිළිබඳව දැනගත් වහාම තරුණිය විසින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.​විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා වරද පිළිගත් බවත්, තරුණියට කිසිදු තර්ජනයක් හෝ අනිසි බලපෑමක් කර නොමැති බැවින් ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙසත්ය. සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අත්හිටවූ සිරදඬුවම සහ වන්දි මුදල නියම කළ අතර, වන්දි මුදල ගෙවීම සඳහා විත්තිකරුට මාසයක සහන කාලයක් ද ලබා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 981

Leave A Reply

Your email address will not be published. Required fields are marked *