යෝෂිත රාජපක්ෂට සහ වසන්ත කරන්නාගොඩට මහාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

නොතීසි ලැබුණු පසු කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ගොනුකර තිබූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකර ඇති බව නිලධාරීන් දැනුම් දීමත් සමඟ මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කරමින් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුතු අවසන් කිරීමට පියවර ගත්තේය.​මෙම නඩුකරය ගොනු කර ඇත්තේ 2006 වසරේදී අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීම සහ සාමාන්‍ය පටිපාටියෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණුවක් සඳහා යැවීම සම්බන්ධයෙන් එවකට නාවික හමුදාපති ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඊට අදාළව දූෂණය නමැති වරද සිදු කළ බවට යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ය.​නඩු විභාගය අතරතුර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයාට විදේශගත ව්‍යාපාරික සමුළුවකට සහභාගී වීම සඳහා අවසර ඉල්ලා සිටියද, සැකකරුවන්ට එරෙහිව දැනටමත් මහාධිකරණයේ නඩු පවරා ඇති බැවින් එවැනි නියෝගයක් නිකුත් කළ නොහැකි බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. මේ අතර සිය සේවාදායකයාට නඩු පැවරීම පිළිබඳව තමන් දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා බව වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,270

Leave A Reply

Your email address will not be published. Required fields are marked *