රග්බි පිටියේ විනය රකින්න ශ්‍රී ලංකා රග්බි ආයතනයෙන් දැඩි තීරණයක්!

පසුගිය සතියේ මහනුවර ක්‍රීඩා සමාජය සහ CH & FC කණ්ඩායම අතර පැවැති ‘A’ කාණ්ඩයේ ලීග් තරගයේදී වාර්තා වූ සිදුවීම් සැළකිල්ලට ගනිමින්, තරග විනිසුරුවන්ගේ සහ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා රග්බි ආයතනය දැඩි පියවර ගැනීමට තීරණය කර ඇත. හදිසි කවුන්සිල රැස්වීමකදී රග්බි පාලක මණ්ඩලය අවධාරණය කළේ මැර හැසිරීම්, බිය ගැන්වීම් සහ විනය විරෝධී ක්‍රියාවන්ට රග්බි ක්‍රීඩාව තුළ ඉඩක් නොමැති බවයි. තම ක්‍රීඩාංගණ තුළ සිදුවන පුද්ගල හැසිරීම් සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩා සමාජ වගකිව යුතු අතර, මෙවැනි සිදුවීම් ඉදිරියට වැළැක්වීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග ගත යුතු බවද එහිදී දන්වා ඇත.​මේ යටතේ මහනුවර ක්‍රීඩා සමාජය වෙත තරග දිනවල ක්‍රියාත්මක කරන සවිස්තරාත්මක ආරක්ෂක සැලසුමක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ. නිත්තවෙල ක්‍රීඩාංගණයේ ඉදිරි තරග පැවැත්වීම තීරණය වන්නේ තරග කමිටුව විසින් එම ආරක්ෂක සැලසුම අනුමත කිරීම මතය. ඉදිරියේදී යම් හෙයකින් විනය කඩවීමක් සිදු වුවහොත්, ප්‍රේක්ෂකයින් නොමැතිව තරග පැවැත්වීමට හෝ ප්‍රමාණවත් ආරක්ෂාවක් සහිත වෙනත් ක්‍රීඩාංගණ කරා තරග මාරු කිරීමට කටයුතු කරන බව පාලක මණ්ඩලය අනතුරු අඟවා ඇත.​මීට අමතරව, ආරක්ෂාවට තර්ජනයක් වූ හෝ ක්‍රීඩාවේ කීර්තිනාමයට කැළලක් ඇති කළ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට තහනම් පැනවීමට කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා රග්බි ආයතනය මහනුවර ක්‍රීඩා සමාජයෙන් අපේක්ෂා කරයි. සියලුම තරගාවලි ආරක්ෂිත, වෘත්තීය සහ ගෞරවනීය මට්ටමකින් පවත්වාගෙන යාමට තමන් කැපවී සිටින බව රග්බි පාලක මණ්ඩලය යළිත් තහවුරු කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 929

Leave A Reply

Your email address will not be published. Required fields are marked *