වර්තමාන රජයේ අදූරදර්ශී මූල්‍ය සහ කළමනාකරණ පිළිවෙත හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුම් ජාලය දැඩි අවුලකට පත්ව ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසයි. ලෝක වෙළඳපොළේ මිල වෙනස්වීම් හුදු නිදහසට කරුණක් කරගනිමින්, කිසිදු නව ඉන්ධන තොගයක් මෙරටට ගෙන්වීමකින් තොරවම මිල ඉහළ දැමීම පිටුපස රජයේ “කොමිස්” අරමුණු පවතින බවට ඔහු චෝදනා කරයි. විශේෂයෙන්ම දේශීය පිරිපහදු කටයුතු සීමා කරමින් දැවිතෙල් නිෂ්පාදනය අඩාල කිරීම හරහා බලශක්ති අර්බුදය තවදුරටත් උත්සන්න කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.ඉන්ධන බෙදාහැරීමේ විධිමත් යාන්ත්‍රණයක් නොමැතිකම නිසා දිවයින පුරා පිරවුම්හල් 850කට ආසන්න ප්‍රමාණයකට මෙතෙක් ඉන්ධන ලැබී නොමැති අතර, ඉන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. රනිල් වික්‍රමසිංහ මහතා හඳුන්වා දුන් QR කේත ක්‍රමය මගින් පෝලිම් යුගය අවසන් කිරීමට පියවර ගත්තද, වත්මන් පාලනය එම ක්‍රමය නිසි කලට ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා ඉන්ධන කෝටාව වැඩි කිරීමේ අවස්ථාවද අහිමි වී ගොස් ඇත. ලියාපදිංචි නොවූ වාහන සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට හෝ භාණ්ඩාගාරයේ ප්රතිපදාන උපයෝගී කරගෙන ඉන්ධන බදු සහනයක් ලබාදීමට රජය උනන්දු නොවීම තුළ පාලනයේ දුර්වලතාව මැනවින් විද්‍යමාන වන බව පාලිත මහතා පෙන්වා දෙයි.රජයේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි පවතින විශ්වාසය පළුදු වී ඇති අතර, විදේශීය රටවල් මෙරටට ඉන්ධන ලබාදීම පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව ඇත. නිසි කළමනාකරණයක් නොමැති වෘත්තිය සමිති නායකයින් සහ බලධාරීන් නිසා රටේ බලශක්ති සුරක්ෂිතතාව බිඳවැටී ඇති බවත්, ජාත්‍යන්තර සහාය අහිමි වීම රට තවදුරටත් ආගාධයකට ඇද දැමීමක් බවත් ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.


























