මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අවදානමකට ලක්ව ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති විය හැකි බලපෑම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුලින්ම පෙන්වා දුන්නද, වත්මන් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම අද වන විට රට බරපතල අර්බුදයකට ඇද දමා ඇත. මේ හේතුවෙන් අපනයන ආදායම පහත වැටීම, සංචාරක කර්මාන්තයේ බිඳවැටීම සහ මැදපෙරදිග රැකියා වෙළඳපොළ අහිමි වීමේ තර්ජනය වැනි බහුවිධ ගැටලුවලට ජනතාවට මුහුණ දීමට සිදු වී තිබේ.වත්මන් ඉන්ධන අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ මෙරට ඩීසල් සහ පෙට්‍රල් මිල රුපියල් 400 සීමාව ඉක්මවා යාමේ දැඩි ප්‍රවණතාවක් පවතී. දැනටමත් QR ක්‍රමවේදයේ පවතින දුර්වලතා සහ ඉන්ධන කෝටා සීමා කිරීම් නිසා දෛනික ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ වී ඇති අතර, රජය විසින් වැඩ කරන දින ගණන පවා සීමා කිරීමට පියවර ගෙන ඇත. රුසියාව සහ සිංගප්පූරුව වැනි රටවල් සමඟ සෘජුව ගනුදෙනු කරමින් තෙල් ලබා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වීමත්, ඛණිජ තෙල් සංස්ථාව තුළ පවතින පරිපාලනමය ගැටලුත් නිසා මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ.රටේ බලශක්ති ක්ෂේත්‍රය දරුණු කඩාවැටීමකට ලක්ව ඇත්තේ ලක්විජය බලාගාරයේ පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස විදුලිය උත්පාදනය සඳහා අධික පිරිවැයක් සහිත ඩීසල් භාවිත කිරීමට සිදු වීම නිසා ඉදිරියේදී විදුලි බිල සියයට 40 කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බව මහාචාර්යවරයා අනාවරණය කරයි. ආණ්ඩුව සතුව මානව සම්පත පිළිබඳ ගැටලුවක් නොමැති වුවද, රට පාලනය කිරීමේදී පවතින ප්‍රායෝගික සහ න්‍යායාත්මක දුර්වලතා හේතුවෙන් සමස්ත ආර්ථිකයම “සක්‍රිය ගිනි කන්දක්” මත ඇති තත්ත්වයකට පත්ව ඇත.සමගි ජන බලවේගය අවධාරණය කරන්නේ පවතින උද්දච්චකම් පසෙකලා ජනතාව වෙනුවෙන් විධිමත් සැලසුමකට අනුව රජය වහාම කටයුතු කළ යුතු බවයි. විපක්ෂය සතුව පවතින විද්‍යාත්මක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රජය අසමත් වීම හේතුවෙන් රටේ අපනයන ආදායම දිනෙන් දින පහත වැටෙමින් පවතින බව පෙනී යයි. ජනතාවගේ පීඩනය අවම කරමින් මැදපෙරදිග අර්බුදයට මුහුණ දීම සඳහා විධිමත් විදේශ ප්‍රතිපත්තියක් සහ ආර්ථික උපායමාර්ගයක් වහාම සකස් විය යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
























