රජයේ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නාමය සහ නිල රාජ්‍ය ලාංඡනය අවභාවිත කරමින් පවත්වාගෙන ගිය වංචනික ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලන්නට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමත් වී තිබේ. මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය මෙම ආයතනය, තමන්ගේ නිෂ්පාදන රජයේ නිල නිෂ්පාදන ලෙස පාරිභෝගිකයා නොමඟ යවමින් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත. ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් කරන ලද නිල පැමිණිල්ලකට අනුව පසුගිය 26 වැනිදා මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබේ.අදාළ වැටලීමේදී එම ආයතනය සතුව තිබූ ව්‍යාජ ඖෂධ තොගයක් පාරිභෝගික නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස මහා පරිමාණයෙන් මෙම වංචාව සිදුකර ඇති බවට හෙළි විය. පාරිභෝගිකයන් අතර පවතින විශ්වාසය උපයෝගී කරගනිමින්, වංචනික ලෙස සකස් කළ ලේබල් යොදා මෙම නිෂ්පාදන වෙළෙඳපොළට මුදාහැර තිබීම විශේෂත්වයකි. මහජන සෞඛ්‍යයට හානිකර විය හැකි මෙවැනි ව්‍යාජ ඖෂධ සම්බන්ධයෙන් ජනතාව වැඩිදුරටත් අවධානයෙන් පසුවිය යුතු බව බලධාරීන් පෙන්වා දෙයි.සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ආයතනයට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ වන විට කටයුතු කරමින් සිටී. රජයේ ලාංඡන සහ නාමයන් අවභාවිත කරමින් සිදුකරන මෙවැනි ජාවාරම් මැඩලීම සඳහා ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය අවධාරණය කරයි. මේ හරහා පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමටත්, විශ්වාසදායක ඖෂධ වෙළෙඳපොළක් පවත්වාගෙන යාමටත් අපේක්ෂිතය.























