රජයේ මුදලින් බොරු ඔප්පු කරන්න හදනවා – නාමල් රාජපක්ෂගෙන් චෝදනාවක්!

යහපාලන සමයේදී විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරවූ පුද්ගලයන්, වර්තමානයේ අධිකරණය, පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන යොදාගනිමින් මහජන මුදලින් එම බොරු තහවුරු කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති “ගමින් ගමට” වැඩසටහනට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, මෙවැනි ක්‍රියාවන් රාජ්‍ය සම්පත් බරපතළ ලෙස අවභාවිත කිරීමක් බවත්, එමගින් රටේ ආයතන පද්ධතිය සහ සමාජ ව්‍යුහය පිරිහීමට ලක්වන බවත්ය. මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස කිහිපයක මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා පාක්ෂිකයන් සමඟ සමීපව කටයුතු කරමින් පක්ෂය දේශපාලනිකව ශක්තිමත් කරන බවද ඔහු සඳහන් කළේය.​ප්‍රාදේශීය සභා මැතිවරණය ඇතුළු ඉදිරි පළාත් පාලන මැතිවරණවලදී තම පක්ෂය ප්‍රබල දේශපාලන බලවේගයක් ලෙස ඉදිරියට එන බවට විශ්වාසය පළ කළ රාජපක්ෂ මහතා, රාජපක්ෂ ආණ්ඩුවල ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා මුදල් වියදම් කළ බවට පසුගිය යහපාලන රජයේ පාර්ශවකරුවන් දැන් ප්‍රසිද්ධියේ පිළිගනිමින් සිටින බවද පැවසීය. එලෙස එදා ගොතන ලද අසත්‍ය චෝදනා නීත්‍යානුකූල කිරීමට දැන් රජයේ ආයතන සහ බදු ගෙවන්නන්ගේ මුදල් යොදාගැනීම බරපතළ අපරාධයක් බව ඔහු පෙන්වා දුන්නේය. චරිත ඝාතනය, වෛරය සහ සමාජ බෙදීම් ඇති කරමින් දේශපාලන මුසාවන් වසා ගැනීමට රජය උත්සාහ කරන බවත්, මෙයට වගකිව යුතු පිරිස්වලට අනාගතයේදී වගකීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 998

Leave A Reply

Your email address will not be published. Required fields are marked *