දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ දරුණු රිය අනතුරු කිහිපයක් හේතුවෙන් තරුණයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය පැය කිහිපය තුළ වාර්තා වූ මෙම සිදුවීම් සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථාන මගින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.පළමු අනතුර වාර්තා වූයේ මහනුවර – යාපනය A9 මාර්ගයේ කැකිරාව රෝහල ආසන්නයේදීය. මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදික කාන්තාවකගේ මරදන්කඩවල දෙසට ධාවනය වූ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.අනතුරින් බරපතල තුවාල ලැබූ 65 හැවිරිදි කාන්තාව වහාම කැකිරාව රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා තිබේ. කෙසේ වෙතත් එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මාරක අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.මේ අතර අම්පාර – සියඹලාණ්ඩුව මාර්ගයේ ‘මිනීමරු හන්දිය’ ආසන්නයේදී එළවළු පටවාගත් ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තවත් දරුණු අනතුරක් සිදුවිය.එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ සිව්දෙනෙකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කළ අතර, එහිදී ප්‍රතිකාර ලැබූ 73 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්වූවාය. ඇය තල්ගස්පිටිය, හබලන්කාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.එරගම පොලිසිය විසින් මෙම අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු සහ ත්‍රිරෝද රථ රියදුරා යන දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සිදුකරමින් පවතියි.අනෙක් මාරක රිය අනතුර වාර්තා වූයේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රන්දොඹේ ප්‍රදේශයෙනි. බලපිටිය දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී 29 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ. ඔහු අළුත්වල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.අම්බලන්ගොඩ පොලිසිය විසින් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අධික වේගය හෝ අපරීක්ෂාකාරී ධාවනය මෙම අනතුරට හේතුවී දැයි සොයා බැලීමට විමර්ශන පවත්වයි.


























