‘රටම එකට’ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට තද බලපෑමක්: සැකකරුවන් 114,000ක් අත්අඩංගුවට

2025 ඔක්තෝබර් 30 වන දින ආරම්භ කරන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම හරහා ගතවූ මාස පහක කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 1,911 දෙනෙකු සාර්ථකව පුනරුත්ථාපනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි. බස්නාහිර පළාතේ අපරාධ වාර්තා කිරීම සඳහා 0777 128128 යන නව වට්ස්ඇප් අංකය හඳුන්වා දී ඇති අතර, සංවිධානාත්මක අපරාධ පිළිබඳ තොරතුරු 1997 සහ 119 අංක හරහා ඕනෑම පොලිස් ස්ථානයකට ලබා දිය හැකිය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තොරතුරු ලබා දුන් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇත.​මෙම මෙහෙයුම් කාලය තුළ හෙරොයින් කිලෝ 1,071ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,938ක් සහ ගංජා කිලෝ 4,917කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් 114,000ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 215 දෙනෙකුගේ නීතිවිරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකය. 2024 සිට මේ දක්වා රුපියල් මිලියන 3,313කට අධික වත්කම් තහනම් කර ඇති අතර, විදේශගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 29 දෙනෙකු මෙරටට ගෙන්වා ගෙන ඇත. තවත් 89 දෙනෙකු ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.​ත්‍රිවිධ හමුදාවේ සහ රේගුවේ දායකත්වය ද මෙම මෙහෙයුමට සක්‍රීයව ලැබී ඇත. යුද හමුදාව නිලධාරීන් 7,000කගේ සහභාගීත්වයෙන් මෙහෙයුම් 200කට සහය ලබා දී ඇති අතර, ගුවන් හමුදාව පැය 250ක ගුවන් නිරීක්ෂණ සහ ඩ්‍රෝන මෙහෙයුම් සිදු කර තිබේ. නාවික හමුදාව 2025 වසරේදී රුපියල් බිලියන 71ක් සහ 2026 වසරේදී රුපියල් බිලියන 25ක් වටිනා මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා රේගුව ද 2025 වසරේදී රුපියල් බිලියන 5.8ක් වටිනා මත්ද්‍රව්‍ය වැටලීම් 147ක් සිදු කරමින් මෙම ජාතික මෙහෙයුමට සුවිශාල දායකත්වයක් සපයා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,066

Leave A Reply

Your email address will not be published. Required fields are marked *